Wednesday, April 19, 2017

ඔබත් ගුරුවරයෙක් නම්


ගුරුවරු සැමවිටම අදක්ෂ සිසුන්ට ඉගැන්වීම දුෂ්කර දෙයකැයි නිශ්චය කරනවා මෙන්ම සැම විටම ඔවුන් හට උපදෙස් දීමටත් දඩුවම් දීම වැනි සෘනාත්මක බලකිරීම් මගින් ප්‍රතිඵල ලබාගැනීමටත් උත්සාහ කරනවා. නමුදු නියම විසදුම එය නොවේ.ගුරුවරු විසින් ඔවුන්ට   වඩා යහපත් විසදුමකට පැමිණිමට නැවත වරක් සිතා බැලීමට අවශ්‍ය කාලය ලබා දිය යුතුය.
  • ඔබ දරුවන්ගේ ගැටළු කෙරෙහි බොහෝ වාරයක් සිතයිද ඔබට බොහෝ විසදුම් ලැබේ. ගුරුවරයෙක් වන ඔබ ගැටළු ඇති තැන්  තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. ඇතැම් ගැටළු ළමයාගේ යහළුවන්ගේ ඒවාය. ඇතැම් ඒවා ඔවුන්ගේ දෙමාපියන්ගේ ගැටළු හෝ තමාගේම ගැටළු විය හැකිය. දරුවෙකු ඉගෙන ගැනීමට උනන්දු නොවන්නේනම් ඒ සදහා විසදුම් සෙවීමට ඔවුනට උදව් කළ යුතුය. ඒ සදහා ඔබට මනෝ විශ්ලේෂකයින් ගේ සහය ලබා ගැනීමට හැකිය..
  • දුර්වල සිසුන්ට පාඩම් තේරුම් ගැනීමට නුපුළුවන් වන්නේ හුදෙක් ඔහු පෙර දිනවලදී පන්තියේ දී කළ පාඩම් තේරුම් අරගෙන නොතිබූ නිසාය. මේ නිසා මෙවැනි සිසුන් කෙරෙහි අවධානය යොමුකළ යුතු අතර ඔවුන්ගේ තේරුම් ගැනීමේ හැකියාව මත තනි තනිව ඉගැන්වීම් කල යුතුය. 
  • ළමයා සාර්ථක පුද්ගලයෙකු කිරීමේ ප්‍රධාන භූමිකාව වන්නේ ඔහුට ධෛර්යය ලබා දීම මගිනුයි. ඔබ ඔහුගේ හැකියාව සොයා ගතයුතු අතර, ධෛර්ය සම්පන්න ලෙස ආමන්ත්‍රණය කිරීමෙන් ඔහුට ප්‍රශංසා කළ යුතුය. ඔබට ළමයා කෙරෙහි ඔහු තුළ  විශ්වාසයක් දැනවීමට  හැකිනම්, ඔහු විසින් ඔහුගේ වැදගත්කම සහ වටිනාකම අවබෝධ කර ගනීවි. දුර්වල ශිෂ්‍යයාගේ විශ්වාසනීයත්වය යන්තමින් හෝ වර්ධනයක් සිදු වූවා නම්  ඔහු දියුණුව කරා යාවි.
  • දුර්වල සිසුන් එක් කාල සටහනකට අනුකූලව ඉගෙන ගැනීමට නම්මවා ගැනීම ගුරුවරයෙකු වශයෙන් ඔබ සතු වගකීමකි. ඔවුන්ට ඔවුන්ගේ ඉගෙනුම සම්බන්ධයෙන් විශේෂ අරමුණක් නැත. නිරන්තරයෙන් ඔබ, ඔවුන් පිළිබද සෙවිල්ලෙන් පසුවිය යුතු අතර, අධ්‍යාපනය මෙන්ම තම ජීවිතය පිළිබදවද නිශ්චිත අරමුණකට ඔවුන්ව රැගෙන යාමට පෙළඹවිය යුතුය. කාල සටහනක් මගින් එවැනි සිසුන් හට සියලු දේ නිවැරැදිව නියමිත වේලාවට කර ගැනීමට අවශ්‍ය හැකියාව ලබා දේවි.
  • ඇතැම් දරුවන් විසින් ඔවුන් ඉගෙන ගත් දේ ඉතා ඉක්මණින්ම  අමතක කරය දමයි . එමෙන්ම  ඔවුන් ඔවුන්ගේ විශ්වාසය පලුදු කර ගනී. ඔවුන් ඔවුන් විසින්ම දක්ෂ ළමුන් හා  වෙන්ව සිටීමට ප්‍රයාස දරයි. එවන් අවස්ථාවන්හිදී, තමන් උගන්නා දේ අමතක නොකර මතක තබා ගන්නේ කෙසේද ?,  යම් කිසි දෙයක් ලිවිය යුත්තේ කොයි ආකාරයටද යන්න වැනි දේ මැනවින් පහදා දීම ඔබ සතු යුතුකමක් වන්නේය.
  • බොහෝ විට ඔබ විසින් පන්ති කාමරය තුළදී  දක්ෂ සිසුන් හට වැදගත්කමක් ලබා දෙයි.නමුදු අවශ්‍යයෙන්ම විය යුත්තේ දුර්වල සිසුන් සමීපයට ගොස් පුද්ගලිකවම ඔවුන් තමන් ඉගැන්වූ දේ ‍අවබෝධ කර ගනු ලැබුවාදැයි විමසීමයි. එය පරුෂ වචනයෙන් නොවී ඉතා විනීත ලෙසින් ඇසීමට තරම් ඔබ කාරුණික විය යුතුය.
  • සිසුන් තුල ඉගෙන ගැනීමේ ආසාව ඇති කිරීමට ඔබ විසින් විසදිය හැකි ආකාරයේ ගැටළු ලබා දිය යුතුය. මේ ‍පුරුද්ද මගින් දරුවා නොකඩවා ඉගෙන ගැනීම කෙරෙහි තම ආසාව ඇති කර ගනී. දුර්වල සිසුන්ට පාසල් වේලාවෙන් පසුවද  අවධානය යොමු කළ යුතුය. නමුදු ගුරුවරු පාසල් වේලාවෙන් පසුව අමතර කාලයක් දරුවන් වෙනුවෙන් වැය කිරීම නොසළකා හරී. ගුරුවරයෙකු වශයෙන් ඔබ පාසල් කාලයෙන් පසු එක් පැයක කාලයක් දුර්වල සිසුන් වෙනුවෙන් තම කාලය මිඩංගු කළ හොත් ඔහු අනිවාර්යයෙන්ම දක්ෂ සිසුවකු වනවා නොඅනුමානයි.
  •  හොද ශක්තිමත් ළමුන් දුර්වල ළමුන් හා එකට හිද ගැනීමටද අකැමැත්තක් දක්වයි. දුර්වල සිසුන්‍‍ගේ දියුණුවට මෙයද එක් හේතුවක් වෙයි. දුර්වල සිසුන්, දක්ෂ සිසුන් හා එක්ව හිද ගැනීමට සුදුසු ලෙස අාසන පිළියෙල කිරීම ගුරුවරයා විසින් කළ යුතුයි. තවද, ඉගෙනීමට දුර්වල තම යහළුවාට උදව් කිරීමේ මහගු වටිනාකම අනෙකුත් දරුවන්ට කියා දීමද ගුරුවරයෙකු වශයෙන් ඔබ තුළ තිබිය යුතු වගකීමකි.
  •  සිසුන් තුළ ශාරීරික මෙන්ම මානසික රෝගාබාද තිබෙනවාදැයි සොයා දැන ගැනීමට උත්සාහ කිරීම ඔබ සතු වගකීමකි. නිදසුනක් ලෙස කලු ලෑල්ලේ ලියා ඇති දෙයක් තම පොතෙහි සටහන් කර ගැනීමට අපොහොසත් දරුවෙකු සිටීනම්, ඇතැම්විට ඔහු ඇස්වල ආබාදයකින් පෙළෙන දරුවෙකු විය හැකිය. ළමුන් මන්දෝත්සාහි කරවන ඇතැම් ශාරීරික මානසික ව්‍යාධීන් වලින් දුක් විදිනවා විය හැකිය. ගුරුවරයෙකු වශයෙන් ඔබ පළමුව මෙවන් ගැටළු ඇති තැන් සොයා දෙවනුව ඒ සදහා ප්‍රතිකාර කිරීමට පෙළඹිය යුතුය. ගුරුවරයෙකු වශයෙන් එය ඔබගෙන් ඉටුවිය යුතු එක් යුතුකමකි.
  • නිරන්තරයෙන් ඔබ දුර්වල සිසුන්ගේ මිතුරෙකු වීමට උත්සාහ ගත යුතුය. ඔවුන් හා මිත්‍රත්වය ගොඩ නැගෙනවිට දරුවන් ඔබට ආදරය කිරීමට පටන් ගන්නවා පමණක් නොව ඔවුන්, ඔබ පවසන ඕනෑම දෙයක් කිරීමට තරම් සුවච කීකරු දරු පිරිසක් වනු ඇත. මේ දරුවන් සාර්ථක වීමේ අභිරහස හුදෙක්  වෙන කිසිවක් නොව එය ගුරුවරයා විසින්  ළමයා තේරුම් ගැනීමේ හැකියාව හා මිත්‍රශීලීව ඇති කර ගන්නා සම්බන්ධතාවය මත රදා පවතින්නකි.

මෙතැනින් ගත්තෙමි

Monday, April 10, 2017

සර්පයා දුටුවේද


"ගෙදර දිහාවෙ කිසිදෙයක් නෑ. දරු තුන්දෙනාට මොනව හදල දෙනවද කියල හිතා ගන්ඩ බෑ...," සිරිමතී ගෙයි පිල් කඩට වී පාර දෙස බලා උන්නේ වැඩ ඇරී  එන ගුණසිරිගේ දර්ශනය බලාපොරොත්තුවෙන්ය. ඔහු ඒ එන්නේත් නිකම්ම නොවන බව  සිරිමතී දනී. දැන් දැන් ගමේ කොල්ලො කුරුට්ටෝ කීප දෙනෙක්ම හොර අරක්කු විකුණන බව වටේ පිටේ එකීලා නගන මැසිවිලි වලින් ඇය දැනගෙන උන්නාය. වැඩ ඇරී එන ගමන් ගුණසිරි සප්පායම් වී එන්නේ ඒවායින්ය. ගමේ හොර අරක්කු විකුණන උන්ටත් පෙරන උන්ටත්  සාප කර,  ඇති සෙතක්  නැති බව ඇය වටහාගෙන ඇති සේය.

 " ඇමති කෙනෙක් කට්ටිය දාල මහ පරිමානෙන් හොර අරක්කු පෙරලලු කියන්නෙ.."

"අනේ ඔය කාගෙ හරි ‍පට්ටපල් කෙබරයක් වෙන්ඩැති..අනිත්එක ඔය ඇමති ගොල්ලන්ට අපහාස කොරන්ටත් ඔහොම නවනිංගිරා කතා හදනවලු...ඒ ගොල්ලන්ට සල්ලි නැතුවැය. දූලගෙ අප්පච්චි කියව්වෙ මේ ලගදි ලස්ස ගානක කාර් වාගෙකුත් දුන්නලු කියල.."  ගෙදර ආ එකියක් පිළිතුරු දුන්නාය.

" බොට ඉතිං බොගෙ මිනිහ මොනව කීවත් ඉස් මුදුනින් පිළිගන්නවනෙ.... අහපං රේඩියෝ එක. අන්න ඒකෙ තමා ගියෙ. ඕවගෙ ඇත්ත නැත්ත ඉතින් මම දන්නෑ. ඒත් ඉතින් ඔය මිනිස්සු පරම්පරා හතකටත් හම්බ කරල තවත් පරම්පරා හතකටත්  හම්බ කරන්නෙ දෙන පඩියෙන්යැ.."

පාවට්ටා ගස් අතරින් ගුණසිරි වැනි වැනී එනවා දුටු  සිරිමති හිදගෙන හුන් තැනින් නැගිට අත් දෙකෙන් පස්සා පැත්ත පිස දැම්මේ පුරුද්දටය. " ඔය එන්නෙ අදත් කටගොන්නක් බී ගෙන" ඇය තමාටම මුමුණා ගත්තීය. ක්ෂණයකින් ඇගේ මුව සිනහවෙන් පිරී ගියාය. ගුණසිරි, පයින් ඇවිද විත් මහන්සියැයි තම බිරිද හුන් තැනම බිම හිද ගත්තේය.

" ‍මොකද අම්මෙ අද මේ තාත්තට වෙලා තියෙන්නෙ..අද නම් ෂූවර් එකටම ඉර අනිත් පැත්තෙන් පායනව.."
ලොකු දුව දම්සදී කීවාය.

" දැන් උඹලට ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ මං බීල ආපු නැති එකනේ නේද? හිටපංකො  ගිහිං එන්ඩ හංදිය පැත්තට..." ගුණසිරි හුන් තැනින් නැගිට්ටේය.

" අනේ......තාත්තිට ඉතින් විහිළුවක්වත් තේරෙන්නෑනේ...." ලොකු දුව ඔහුගේ අතින් අල්ලා ගත්තාය.

"ඉන්ඩකො...තාත්තිට තේ එකක් වක්කරගෙන එන්ඩ...." දම්සදී ගේ ඇතුළට ගියාය...

"අදනං හම්බෙච්චි දෙයක් නෑ....දැන්..මිනිස්සු ගොයම් කපන්නෙ නෑ..ඔක්කොම බූතයා ගහනව...අනිත් එක එ්ක කුඹුරුකාරයාට ලාභයි ගොයම් කපන්ඩ මිනිස්සු කුළියට ගන්නවට වැඩිය. කුළියට ගත්තත් දැන් උන් බීඩියයි බුලත් හපේටයි මිසක් වැඩ කරන්ඩ එච්චර මහන්සි වෙන්නෑනෙ....එ‍්කෙන් ඉතිං පාඩුව සුනාමි කාරයින්ට...ඒ මිනිස්සුන්ටත් පාඩුයි. අපිට  හරියට   පඩියක්  ගෙවන්ඩත් ඒ මිනිස්සුන්ට වැඩ එන්නෑ. මටත් දැන් ඉස්සර තරම්ම සුනාමිවල වැඩ කරන්ඩ බෑ. අරකෙ ඉදගෙන ඉදලම කොදුනාරටියත් ඇදුං දෙනව වගේ..." ගුණසිරි දම්සදී ගෙනා වතුර කෝප්පෙන් කට හෝදා මනාව වැවුණු උඩුරැවුලත් යටි රැවුලත් දෙකම එකට හිටින සේ වං අල්ලෙන් පිස දැම්මේය.

සීනි ටිකක් වං අල්ලට ගෙන එකපාරටම කටට දාගෙන කා පසුව තේ බීම ගුණසිරිගේ කුඩාකල සිටම තිබූ පුරුද්දකි..." එහෙම කලින් සීනි කාල තේ බොනකොට දත් පණුවො කන්නෑ කියල අපෙ අප්පොච්ච කියල තියෙනව.."  ගුණසිරි දූලට එහෙම කිව්වත් දූලනං කැමති තේ එකට සීනි දාගෙන බොන්නටය.

"සිරී... මට  කමිසයක් ගෙනැත් දෙන්ඩකො.."

"ඒ ගමන මේ කොහෙ යන්ටද...හදන්නෙ...." සිරිමතී මැසිවිලි නැගුවාය.

" ටවුමට ගිහිං එන්ඩය කියල...වැඩ ඇරිල එන්ඩ හදද්දි චන්දරේ කිව්ව..මිනිහගෙ තාත්තත් එක්ක ටවුමෙ දොස්තර මහත්තයා ගාවට ගිහිං එන්ඩ කියල....ඒ මිනිහ ගාව මෙච්චර දවසක් වැඩ කරල බෑ කියන්ඩත් බෑනෙ..."

"තාත්තෙ එහෙනම් ඒත් එක්කම මට පොඩි බඩුවකුත් ගේන්ඩකො.." දම්සදී කීවාය.

"ඒ මොකද්ද ඒ...."

"මග‍ෙ කවකටු පෙට්ටිය ඔක්කොම කැඩිල...මට අලුත් කවකටු පෙට්ටියක් ගෙනැත් දෙන්ඩකො...පන්තියෙ ළමයි ඔක්කොම ගාව අලුත් නටරාජ කවකටු පෙට්ටි තියෙනව..." ඈ කන්කෙදිරි ගෑවාය..

" අනේ පුතේ දැන් මං ගාව සල්ලි කොහින්ද ?  හෙටවත් මං අර සුනාමි ගහපු සල්ලි  අරගෙන උඹට හොද කවකටු පෙටිටියක් අරං දෙන්නංකො...."

සිරීමතී  මුවින් නොබැන උන්නාය..දම්සදී ගස්සාගෙන ගෙතුළට රිංගුවාය...

පන් වලින් වියන පැදුරු, වට්ටි , මලු ආදිය විතුණා ගන්නා මුදල් වලින්  සිරිමතී ගෙදරට අවශ්‍ය  අඩුම කුඩුම ටික ගත්තාය. දරුවන්ගේ ඉස්කෝලෙ වැඩ වලටද එයින් යම් දායකත්වයක් සැපයූවාය. ඇතැම් දිනවල කුළියක් මලියක්වත් නොලැබෙන ගුණසිරිට එය මහත් වූ අස්වැසිල්ලක් විය.

ගුණසිරි චන්දරේගේ  තාත්තාත් තම පුස් සයිකලයේ නංවාගෙන ටවුමටම පැද්දේය. එක දිගට සුනාමියට ගොයම් ඔබා තම පිට කොන්ද ඇදුම් දුන්නත් ඒ බැව් වයසක උන්දෑට කියන්නට නොගියේ, එසේ කරොත් කළ උදව්වේ වටිනාකමක් නැති බව ගුණසිරි දත් නිසාය. ඔහු වසයක උන්දෑව තම ශක්තිමත් බාහු යුගලයෙන් අල්ලා දොස්තර මහතාගේ ඩිස්පැන්සරිය ඉස්සරහ තබා ඇති පුටුවක පරිස්සටම වාඩු කරවීය.

"එහෙනං උඹ ඔතන හිටින් ..මං අර කඩේ දිහාවට ගිහිං එනකං...සෙනගත් පිරිලා කොහොමත් තව පැයක් දෙකක් යයි බෙහෙත් ගන්ඩ..." වයසක උන්දෑ ඔළුව සෙලෙව්වේය. එතැන සිටි උන්, මහල්ලා දෙස අනුකම්පා සහගත බැල්මක් හෙළූහ. ගුණසිරි එතැනින් මෑත්ව ටිකක් දුරින් ඇති පෙට්ටි කඩය දෙසට පිය මැන්නේය. ඒ බීඩියක් ඉරීමටය. ගුණසිරිට වැඩි දුරක් යාමට නොහැකි විණ. හදිසියේම යමක් තම යටි පතුලට පෑගෙනු ඔහුට දැනිණී. ඔහු තිබු පියවර එසේම තබා බිම බැලුවේය. එය පසුම්බියකි. ගැහැණීයකගේයැයි සිතිය හැක. ගුණසිරි වටපිට බැලුවේය. කවරෙකුත් පෙනෙන මානයේ නැත. හෙමින් පහතට නැමී පසුම්බිය ගෙන ඉනේ දවටා  ගත්තේය.

ඔහුට යාමට ගිය ගමන යෑමට නොහැකි විය. බීඩි ඉරිල්ල පසෙක තබා ඔහු ආපසු හැරිණ. දැන් තමා යා යුත්තේ කොහේටදැයි සිතාගත නොහී දෙලොවක අතරමං වූවාක් මෙන් ගුණසිරිට දැනින. එය පසුම්බියක් බව සැබෑය. එහෙත් එය මුදල් පසුම්බියක්දැයි  සැකහැර දැන ගැනීමේ නොතිත් ආශාවක් ගුණසිරි තුළ ඇතිවිය.  ඩිස්පැන්සරියේ ගේට්ටුව ලග නැවතුණු ඔහු නැවත පාර දිගේ ටික දුරක් ඇවිදගෙන ගියේය. උගුර දණ්ඩ පවා වේලී ගියාක් මෙන් ගුණසිරිට දැනුණි. බීඩියක් නොව වතුර උගුරක් බීමේ අවශ්‍යතාවය දැඩි විය.

ගුණසිරි තේ කඩයට ගොඩවිය.

" උන්නැහේ තේ එකක් දාන්ඩද ?"

"තේ එකක් නෙවෙයි මට වතුර කෝප්පයක් දෙනවද?" ගුණසිරි බයාදු ගතියකින් කීවේය.

"මොකේ උන්නැහැ නිකං අසනීපෙන් වගේ..."

"නෑ....මේ..එහෙමට කියල අසනීපයක් නෑ...මුදලාලි...ඇගේ තෙහෙට්ටුවට වෙන්ඩැති.." ගුණසිරි වතුර වීදුරුව හිස් කොට ඩිස්පැන්සරියට ගියේය. ලෙඩ්ඩු පෝලිමේ තව ටික දෙනෙකි. " තව පෑ කාලකින් විතර ලොක්කට බෙහෙත් ටික ගන්ඩ පුළුවන් වෙයි.." ගුණසිරි හිතුවේය....

තවමත් පසුම්බිය ගුණසිරිගේ ඉනේය. ගුණසිරි කාටත් හොරෙන් එය පිටින් අත ගෑ බැලුවේය. එහි ගණකම් දෙයක් ඇතිබව ඔහුට දැනුණි. එහෙත් ඔහු තාම එය නොදැක්ක‍ේය. අනිවාර්යෙන් එහි මුදල්ම ඇති බව ඔහු අනුමාන කළේය. මහල්ලාගේ වාරය එළැඹින. ගුණසිරි ඔහුව දෝතින් අල්ලාගත්තත් පළමුව මෙන් නොව ගුණසිරිගේ දෙඅත් වෙව්ලන්නාක් මෙන්ය. කවුරුන් හෝ පසුම්බියේ අයිතිකරු පොලීසියට පැමිණිල්ලක් කොට දැන් දැන් පොලීසියෙන් පැමිණ ගුණසිරිගේ ඉන පරික්ෂා කරාවිදෝ යැයි අනියත බියකින් ගුණසිරි‍ගේ හදවත ගැහෙන්නට විය.

දොස්තර මහතාගෙන් බෙහෙත් ගෙන අවසන මහල්ලා නැවත එක්කරගෙන විත් පුටුවේ ඉන්දවීය. මහල්ලා බෙහෙත් එක් අතකින් ගෙන ඉදිරිය බලා උන්නේය.

"එක්ක‍ො මං මේක මේකෙ අයිතිකාරය හොයල දෙනව..." ගුණසිරි එහෙම හිතුවත් " බෑ බැරි වෙලාවත් මේකෙ සල්ලි තිබුණොත්....." එක් නිමේශයකදී අන්සතු දෙයකට ලොබ බැන්දේය. " හරි මං මේ පසුම්බිය පෙන්නුවාම කියමුකො....ඒ කියල  මේකෙ හරි අයිතිකාරය කවුද කියල කියන්නත් බෑනෙ...." ඔහුගේ හදවත සහ බුද්ධීය තර්ක විතර්කාදියෙහි යෙදෙන්නට විය. "අපරාදෙ මේක‍ෙ අයිතිකාරයෙක් ඉන්නවද කියල ඒ වෙලාවෙම මට අහන්නයි තිබුණෙ....බෙහෙත් ගන්න ආපු කාගෙන් හරි මේක වැටුණද දන්නෑ...පවු.... එහෙම වුණානම් ඒ මනුස්සය බෙහෙත් ගන්නැතුව යන්ඩත් ඇති.....මං වගේ පව් කාරයෙක්.." ඔහු තමාටම ද්වේශ කර ගත්තේය.

ඔහු මහල්ලාද කැටුව ටවුමෙන් පිටත්ව ගියේය. ඔහුගේ උඩු හිතත් යටි හිතත් එකම මාර්ගයක ගමන් කරයි. ධ්‍යානගතවූවෙක් පරිද්දෙන්. එහෙත් ඔහුගේ දෙනෙත් වෙනදා මෙන් සරළ නොවීය. රුධිර නාල එළියට පිමිබී ඇති සේය. ශරීරය දරඩු වූවෙකු සේය. ඉහින් කනින් දහඩිය වැක්කෙරෙන්නේය. නෙත් යුග ඉදිරි මාවතටම මානාගෙන යන්නේය. වටපිට බැලිල්ලක් සිදු නොවුනේමය. ඒ තරමටම ගුණසිරිගේ සිත චංචල වී ඇති සෙයකි.

ගුණසිරි මහල්ලා දමා මොහොතක් හෝ කල් නොයවා ගෙදර ගියේය. යන අතරමග ඔහු තම ඉන එක් වතාවක් නොව දහ දොළොස් වතාවක් අතගා බැලුවේය. පසුම්බියේ විදියට සෑහෙන්න මුදල් තිබිය යුතු බව ඔහු අනුමාන කළේය. "අපරාදෙ මට කෙල්ලට කවකටු පෙට්ටියක් අරන් එන්ඩයි තිබුණෙ. කොහෙද තාම මට මේක ඇරල බලාගන්ඩ බැරි වුණානෙ. ඒත් " තාත්තට කොහෙන්ද සල්ලි " කියල ඇහැව්වොත් මගේ දිව පැටලෙන්නත් බැරි නෑ. එහෙම වුණොත් කෙලී මාව සැක කරන්ඩත් ඉඩ තියෙනව." ගුණසිරී වරදක් කළාදෝ යන මානසිකත්වයෙන් එසේ සිතුවත් එය වරදක්ම යැයි තවම ගුණසිරිගේ හදවතට දැනුණාද යන්න සැකයකි.

" ‍කොහොම හරි පියදාස මුදලාලිගෙ කඩේට තියෙන  ණය ටික ඉවරයක් කරල දාන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් කොච්චර දෙයක්ද..හෙමින් සැරේ වහලෙ ඉලුක් ටික අයින් කරල දාල ටකරං ටිකක් ගෙනෙල්ල අල්ලල දානව. ඒත් චන්දරේ අහයිද දන්නෑ " ගුණේ උඹට මෙච්චර සල්ලි කොහෙන්දැයි " කියල. එහෙම වුණොත් මං මොනව කියන්ඩද ? ඔහු  ප්‍රශ්න ගණනාවක හිර වෙලා සේය.

 "සිරී......" ගුණසිරි හිස පාත් කරගෙනම ගෙට ඇතුළු වූවේය.

"ඒත්  මං මේ බැලුවෙ බෙහෙත් ගේන්ඩ යනවැයි කියල ගියපු උන්දැ මෙච්චර පරක්කු ඇයි කියලයි..." "  මොකද මේ ඇස් දෙකත් එක්කන් තඩිස්සි වෙලා වගේ. දූලගෙ අප්පච්චිට උණ හැදෙන්ටවත්ද " ගුණසිරිගේ  බෙල්ලේ දකුණු පැත්තට ඇය තම පිටිඅල්ල තියා බැලුවාය." උණ ගතියක් නම් පේන්ට නැතුවා..ඒ මොනව උණත් දූලගෙ අප්පච්චිගෙ වෙනසක් නම් පේනව..."  සිරිමතී කියාගෙන ගියාය.

" කෝ ලොකු දූ..." ගුණසිරි විචාලේය.

" ඕං ඔය රමණිලාගෙ ගෙදර යනව කියල ගියෙ අට නමය වෙනකංවත් පොතක් පාඩම් කරල එන්නම්  අම්මෙ කියල..ආයෙ මේ ගෙදර ඇදිරි වැටීගෙන එනකොට  දරුවෙකුට පාඩම් කරගන්ට කියල හරිහමන් එළියක්වත් තියෙනව කියලය. කුප්පි ලාම්පු එළිවලින් පාඩම් කරන්ට එපාය කියල රේඩියෝවෙත් කියල තියෙනවලු. අනිත්තෙක  කී පාරක් නම් කියල ඇද්ද ණය වෙලා හරි කරන්ට් එක අරං දෙන්ට කියල. කෝ ඉතින් ඊට වැඩිය හොදයි බීරි අලින්ට වීණා ගායනා කරානං.." නාටකයක ප්‍රධාන චරිතයට පණ පොවන්නියක සේ සිරිමතී  කටහඩ උස් පහත් කරමින් අවැසි තැන්හි නිහඩවද හිද දුක්ක සත්‍ය මෙනෙහි කළාය. ගුණසිරි පිල්කඩ උඩ ඇති බූරු ඇදේ ඉද ගත්තේ.." මෙන්න මෙහෙ ඇවිල්ල යනවකො පොඩ්ඩක්.." යැයි හඩ බාල කළ ස්වරූපයකිනි.

" මොකෝ මේ රහසක් කියන්ඩ වගේ..."  සිරිමතී උලුවස්සට හේත්තු වුණාය.

" වගේ නෙමෙයි...රහසක්ම තමයි..මෙන්න මෙහෙ එනවකො ටිකක් ලගට...." ගුණසිරි තම ඉනෙහි සගවාගෙන සිටි පසුම්බිය ඇද ඉවතට ගත්තේය. සිරිමතී පසුම්බිය වෙත දල්වා ගත් දෑස් වෙනතකට නොගත්තාය..

"මේ මොකද්ද මේ.."

" චන්දරේගෙ තාත්තට බෙහෙත් ගන්ඩ ගියා.."

"ඉතිං..."
 
"මං උන්දෑ පුටුවක ඉන්දවල තියල තේ කඩේට යන්ඩ ගියා බීඩියක් බොන්ඩ කියල හිතාගෙන.."

" ඉතිං.."

"ඉතිං ඒ යනකොට මට දැනුණ මොකක් හරි දෙයක් මගෙ කකුලට පෑගුණා වගේ කියල."

" ඊට පස්සෙ..." සිරිමතී ඇස්ගෙඩි ලොකු කර ගත්තාය.

" ඊට පස්සෙ ඉතිං මං ඇහිද ගත්ත."

" කවුරුවත් එහෙම දැක්කද දන්නෑ..?"

" කවුරු දකින්ඩද..මං වටපිට බලලයි ගත්තෙ. කවුරුත් පේන තෙක් මානෙ හිටියෙ නෑ.."

" ඒක හිංද හොදයි.. කෝ කෝ ඉතිං ඕක අරින්ටකො බලන්ට..." සිරිමතීට  එය විවෘත කරන තුරු ඉවසිල්ලක් නොවීය.

ගුණසිරි පසුම්බිය විවර කළේය. ඔවුන් දෙදෙනාට අදහාගත නොහැකි විය. තමන් ජීවිතයේ කිසි දිනෙක නොදුටූ විරූ මුදල් තොගයක්  එහි මිටිකර දමා තිබුණේය. දෙදෙනා දෙදෙනාගේ මුහුණු දෙස බලා මොහොතක් රැදී සිටියේය. සිරිමතීගේ නෙත් අගින් කදුලු කැටයක් එළියට පැන්නාය. මුදල් පසුම්බිය දෙවියන්ගෙන් ලද ත්‍යාගයක්  ලෙස ඔවුහු සිතූහ.

" දෙය්යො අපෙ මූණ බලල තියෙනවා...ලොකු කෙලීගෙයි පොඩ්ඩිගෙයි වාසනාව..ගිය සතියෙ හේදිරිස් මාම ගාවට ලොකු කෙලීගෙ හදහන අරං ගියාට පස්සෙ කිව්වෙ, කෙල්ල හරි වාසනාවන්තයි, වැඩි කාලයක් යන්නෑ ගෙදරට වාසනාව ගේනව කියල..." සිරිමතී උතුරායන සන්තෝෂයෙන් කීවාය.

" ඒ වුණා කියල දූලට  මේවගෙ හාන්කවිසියක් එහෙම කණේ තියනව නෙමේ ඕං..එයාල මේව දැන කියා ගන්ඩ ඕනෙ නෑ. අනිත්තෙක එයාල තාම පොඩි එවුන්." ගුණසිරි තෙපලේය.

" ගුණේ , අපි දැන් මේවට මොනවද කරන්නෙ....මට නම් මේ සිද්ද වුනේ මොනවද කියල හිතා ගන්ටවත් බැරුව ඉන්නෙ..."

" ඒ වුණාට මගෙ හිතට හරි නෑ සිරිමතී.." ගුණසිරි ශෝකයෙන් කීවේය.

" ඒ ඇයි..."

" නෑ ඉතින්, මේ සල්ලි පොදිය කාගෙද කියන්ඩ අපි දන්නෑනෙ...මට නං හිතෙන්නෙම අද බෙහෙත් ගන්ඩ ආපු කෙනෙක්ගෙ අතින් වැටුනද කියලයි...එහෙම වුණානම් එහෙම..." ගුණසිරි ශෝක වූවේ සැබෑවටමය. ඔහු බොහෝ වේලා කල්පනා කළේය.

" එහෙම වෙන්න විදියක් නෑ ගුණේ, එහෙම බෙහෙත් ගන්ට ආවනං මෙච්චර මේ දාස් ගාණක් අරං ඒවියැ.." ඇය තම ස්වාමිපුරුෂයා අස්වසව්වාය. ඒ හුදෙක්ම තම ස්වාමියා කෙරෙහි ඇති සෙනෙහසද එසෙත් නැතිනම් පසුම්බියේ ඇති මුදල් කෙරෙහි තණ්හාවටදැයි මෙම ස්ථානයේ තෙවැන්නෙක් සිටියානම් හොදාකාරවම අවබෝධ කර ගන්නවා නිසැකය.

"සමහර විට ලොකු ලෙඩකට බෙහෙත් ගන්ඩ ආව ලෙඩෙක්ද දන්නෑ..." ඔහු අනුමාන කළේය.

"එහෙම වෙන්නෙ කොහොමද..? මේ පොඩි දොස්තර කෙනෙක් ගාවට එන්නෑ..ඔච්චර සල්ලි තියාගෙන.  එහෙනම් කෙලින්ම කොලඹ ලොකු ඉස්පිරිතාලෙක ලොකු දොස්තර මහත්තැන් කෙනෙක් අල්ලාවි.." ඇය එසේ නොවීමට කරුණු ගෙනහැර පෑවාය.

" ඒත් මට මේක අයිතිකර ගන්ඩ අදහසක් නෑ. මං මේක ගෙනාවෙ, ඒ වෙලාවෙ දෙන්ඩ අයිතිකාරයෙක් මේකට නොහිටි නිසාය..අපි මේක භාර දෙමුද  සිරී..? ගුණසිරි තම බිරිදගෙන් විමසුවේය.

" පිස්සුද ගුණේ, දෙන දෙයියො දෙනකොට ගේ ඇතුළටම ගෙනැත් දෙනව කියන්නෙ මේකට...අනේ ඔය මනස්ගාත හිතන්නැතුව ඔන්න ඕක මෙන්න මෙහෙ දෙන්ට.." සිරිමතී මුදල් පසුම්බිය උදුරාගෙන ගෙතුලට ගියාය.

"සිරිමතී...." ගුණසිරි වෙනදාට වඩා හඩින් තම බිරිදට කෑ ගැසුවේය. එහෙත් ඒ වේදනාකාරී  හඩ, හමා ආ සුලං පොදක දැවටී ගසාගෙන ගියාක් මෙනි.

සිරිමතී පෙර වාසනා මහිමයකින් ලද මුදල් පසුම්බියෙහි තිබූ මුදල් ගණන් කරන්නට නොගියාය. එය කිසිවෙකුට නොපෙනෙන, ගත නොහැකි ලෙස සගවා තබන්නට පරෙස්සම් වූවාය. ඇය වෙනදා මෙන් ගැහැණුන් හා සංවාදයට නොගියාය. ගුණසිරි ද වෙනදා මෙන් සුනාමි ගහන්නට නොගියේය. එහෙත් ගමේ මිනිසුන් කුළී වැඩකට අඩ ගසද්දි තමාගේ  කොන්දේ අමාරුවකට බෙහෙත් ගන්නා බව පවසමින් මග ඇරියේය. ඔහු වැඩිපුරම කාලය ගත කළේ බූරු ඇදේය.

තමන් කිසි දිනෙක දැක නැති මේ සා විශාල මුදලක් කෙසේ නම් වියදං කරන්නේද යැයි ගුණසිරි සිතුවේය.. "මේ වරිච්චි බැද මැටි ගසා තනා ඇති ගේ කඩා අලුතින් ගෙයක් තනන්නට මුල පිරුව හොත් , මෙච්චර මුදලක් කොහින්ද යැයි ගම්මුන් සැක හිතනවා සහතිකය.ඒ විතරක් නොව කොහෙන් හෝ සොරකම් කළාදෝ යැයි කෙනෙකු පොලීසියට වුව පැමිණිලි කරන්නට  බැරි නැහැ, " යි ඔහු  සිතුවේය. එසේ වුව හොත් හාර මාසයක් නොව එක්කෝ ජිවිතාන්තය දක්වා වැලිකඩ ලගින්නට සිදුවෙන බව ඔහු කල්පනා කළේය.

" දැම්ම ඔය සල්ලි එහෙම ගන්නව නෙමෙයි..." ඔහු බිරිදට උපදෙස් දුන්නේය.

" මං ගන්ට ගිය සල්ලියක් නෑ.. ඊයෙ පියදාසගෙ කඩේට ගියාට පස්සෙ බේරෙන්ට නෑ කඩේ ණය ටික ගෙවල දාන්ටය කියල.  අපිට කියල ආත්ම ගරුත්වයක් කියල දෙයක් තියෙන්ටත් එපැයි. බැරිම  තැන අද උදේම අරකෙන්  දාහක් අරං කඩේට ගිහිං දුන්න. අටසිය ගාණක් වෙලා තිබ්බ ඔක්කොම ගාන. මුදලාලි මගෙන් අහනවා  " කොහෙන්ද බං මේ එකපාරටම සල්ලි උඹලට.." කියල. ඒ ගමන මං කිව්ව, ඇයි මුදලාලිට විතරද සල්ලි තියෙන නෑයො ඉන්නෙ, අපිට නැද්ද කියල. " හ්ම් ඒකත් එහෙමද " කියල මුදලාලි කරබා ගත්ත.

"ඒක හොදයි...නැත්තන් මුදලාලි බලයි අපිට කොහින්ද මේ එකපාරටම සල්ලි කියල" ගුණසිරි කල්පනාබරිතව තෙපලේය.

සිරිමතී තමා,  පියදාස මුදලාලිට කියූ දේ සම්බන්ධව ගුණසිරි දැක්වූ එකගතාවය ගැන ඇය පුදුම වූවේ, ඇය ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසාය. දුක් කම් කටොලින් පිරී ඉතිරී ගිය අපායක් බදු ජීවිතවල අවසානය පැමිණ ඇති බව ඇය මෙනෙහි කළාය. එකවර මෙවන් විශාල ධනයක් ලැබීමට පෙර පිනක් කර තිබෙන්නට ඇතැයි ඇය සිතුවාය. ඇය ඈත අහස්කුස දෙස නෙත් යොමාගෙනය. මොහොතකින් ඇය, එහි ආ විශාල වළාරොදක පාවී ගියාය.

සියඹලා ගසකින් කොලයක් වැටෙන ශබ්දය, එක් ක්ෂණයකින්  බළළෙකුගේ දෙකන් තුළ වැකෙන්නේ යම් සේද ගැහැණියක තුළද ඇයට ආවෙණික වූ සංවේදනයන් බොහොමයක් ඇතිබව විද්‍යාමාන කරමින් සිරිමතී එක් ක්ෂණයකින් තිගැස්සී ගියේය. ගැඹුරු නින්දක පහස ලබමින් සිටි අයෙකු,  කිසියම් බලපෑමකින් නොසිතූ මොහොතක අවදි වූ කල, ටික වෙලාවක් අන්ද මන්ද වී යන්නාසේය. ගත අප්‍රාණික ස්වභාවයක් ගන්නා සේය. සිරිමතී තුළද එවැනි ලක්ෂණ පෙන්නුම් කළාය. ඇය,  පාවට්ටා ගස් අතරින් කවුරුන් හෝ පිරිසක් ගේ දිහාවට එනවා දුටුවාය. ඇය ‍හිටිවනම  තම දෑතින් දෙනෙත් පිසදා ගත්තාය. 

"අර මොකද අර...කවදාවත් නැතුව රතු මැද්දුං මේ පැත්තට දුවගෙන එන්නෙ..." සිරිමතී පිල් කඩින් බිමට බැස්සාය.

" මෙලහකට කුලී වැඩක්වත් කියන්ඩ වෙන්ඩැති..කියනව මගෙ කොන්ද අමාරුයි කියල..දැන් දවස් ගාණක් වෙනව කියනව..." ගුණසිරි බූරු ඇදේ අනිත් අතට පෙරළුනේය.

"ගුණේ..." සිරිමතී වෙවුළුම් හඩකින් කෙදිරි ගෑවාය

"ගුණේ..නැගිටින්ටකෝ...අර බලන්ට අර මේ පැත්තට පොලීසියෙනුත් එනව...පිටිපස්සෙන් පියදාස මුදලාලිත් එනව...." ගුණසිරි දඩිබිඩි ගා බූරු ඇදෙන් බිමට පැන යට ලීයේ එල්ලා තිබූ කමිසය හැද ගත්තේය. සිරිමතී භයින් තැති ගත්තේය. කිසි දිනෙක පොලීසියෙන් තියා ග්‍රාමාරක්ෂකයෙක් වත් පැමිණ නැති ගුණසිරිගේ ගෙදරට පොලීසියේ මහත්තුරු හත් අට දෙනෙක්ම පැමිණෙන්නේය.

" සර් මේ තමා ගුණසිරි.." පියදාස හදුන්වා දුන්නේය..

" එතකොට තමුසෙද මිනිහ...අපරාධ කරල එච්චර කාලයක් හැංගිලා ඉන්ඩ බෑ මිනිහො.."  පොලිස් නිලධාරියෙක් එසේ කියද්දි , ගුණසිරි යමක් තෙපලන්ට පටං ගත්තේය.

" හා..හා නිදහසට කරුණු කියන්ට මෙතැන බෑ. ඒව උසාවියේදී බලා ගන්ඩ පුළුවන්...කො තමුසෙ හංගලා තියෙන අනිත් සල්ලි..."ගුණසිරි සියලු මුදල් සගවා ඇති තැනින් ගෙන පොලිස් නිලධාරීන් අත තිබ්බේය..

"ගුණසිරිගේ දෙඅත් වලට මාංචු වැටිණ..." සිරිමතී විලාප තිබ්බාය. ලොකු දූයි පොඩ්ඩියි මේ කිසි දෙයක් නොදනී ඔවුන් තාම පාසලේය.

"මේ ඔක්කොම හොර සල්ලි...ම‍ට කියනවා කවුද මේ හොර සල්ලි අච්චු ගහන්නෙ, කොහෙද මේක කරන්නෙ, තව කවුද මේකට සම්බන්ධ කියල." පොලිස් නිලධාරියෙක් එසේ කියද්දී , ගුණසිරිගේ හදවත මොහොතකට නතර වූවාක් මෙන්විය. සිරිමතීට සිහිය නැතිවිය. ගමේ ගැහැණුන් කීප දෙනෙක් ඇයව වත්තන් කරගෙන ගෙතුලට ගෙන ගියාය. ගුණසිරිට කියන්නට දෙයක් නොවීය. ඔහුගේ දෙනෙත්වලින් කදුළු කැට වෑස්සෙන්නට විය. ඒ කදුලු කැටයක් ගානේ ඔහු පසුම්බිය හමු වූ මොහොතේ පටන් වූ සිද්ධී දාමය සිහියට නගා ගත්තේය.....








Wednesday, April 5, 2017

කීත් දැන් හොද ළමයෙක්


කීත් පන්තියට ඇතුළු වෙනකොට තමන්ගෙ කකුල් පිහදාල ඇතුළට එන්නැති වරදට හැමදාම අසුවෙනවා. එයා සෙල්ලම් කරන්නට එළියට ගිහින්  ආපසු ඇතුළට එන්නෙ එයාගෙ මඩ තැවරුණු සපත්තු දෙක එක පාරක්වත් පන්තිය ඉස්සරහ තියෙන පා පිස්නාවෙන් පිහදාගෙන නෙවෙයි.

එයා ‍ගේ ඇතුළෙ ඇවිදින හැම තැනම මඩ ගෑවිලා තියෙනව ඔයාලටත් බලන්න පුළුවන්. කොටින්ම කිව්වොත් එයා ගොඩාක් දගකාර ළමයෙක්.
"කීත්.. කකුල් පිහදාගෙන ගේ ඇතුළට එන්න.." එයා ගේ ඇතුළට එන හැම වෙලාවකම කීත්ගෙ අම්ම එහෙම කිව්ව.
කීත් හැම සෙනසුරාදාවකම එයාගෙ නැන්දලාගෙ ගෙදර යනව. නැන්දත් හැමදාම කකුල් පිහදාල ගෙට ඇතුළුවෙන්න කියල  එයාට කියනව.
ඒ විතරක් නෙමෙයි, කීත් ඉස්කෝලෙ යන හැම දවසකමත් කීත්ගෙ ගුරුතුමා කකුල් පිහදාගෙන පන්තියට එන්න කියල එයාට මතක් කරනවා.
ඒත් එයා කවදාවත් තමන්ගෙ කකුල් පිහදැම්මද..? නෑ...එයා කවදාවත් එහෙම කළේ නෑ. ඒ වෙනුවට එයා කළේ හෙමින් සැරේ ලිස්සලා වගේ ඇතුළට යන එකයි.

එක දවසක්  කීත්ටයි එයාගෙ යාළුවන්ටයි එයාලගෙ ගුරුතුමා කිව්ව, එයාලගෙ ඉස්කෝලෙ තවත් පන්ති කීපයක් එක්ක තරගයක් පවත්වනව කියල. තරගෙ මොකද්ද කියල දැන ගන්නකම් කීත්ටයි යාළුවන්ටයි ඉස්පාසුවක් තිබුණෙ නෑ.

" හැබැයි ඒකෙන් දිනන්නනම් ඔයාලට ලකුණු වැඩිපුර ගන්න වෙනව....."
" ඉතින් කියන්නකො ටීචර්..." ළමයි ටීචර් වටේ කැරකි කැරකි හිටිය.
" ඒ මොනවටද දන්නවද...ඔයාල ගාව තියෙන ආචාර ධර්ම වලට...ඒ කියන්නෙ ඔයාල නිතරම හොද පුරුදු ඇති කරගන්න  පුරුදු වෙන්න ඕනෙ. ඔයාල ගාව නරක පුරුදු තියෙනවනම් ඔයාලට ලකුණු අඩු වේවි..." කීත්  සහ  එයාගෙ යාළුවො ගොඩාක් සතුටු වුණා.

ඉතින් ඒ පාසලේ උගන්වපු ගුරුවරුන්ට ඕනෙ වුණා ආචාර සම්පන්න බවින් යුතු හොදම පන්තිය තෝරා ගන්න. ඒ වගේම හැම ළමයෙක්ම තමන්ගෙ පන්තිය ජයග්‍රහණය කරවන්න  මහන්සි ගන්න කියලත් ගුරුතුමා  ළමුන්ට කිව්ව.
" ඉතින් ටීචර්, අපිට කිව්වෙ නෑනෙ මොන වගේ ආචාර විදි වලටද ලකුණු දෙන්නෙ කියල..." කීත්ගෙ යාළුවා හැරී ඇහුවා.
"හොදයි, ඔයාල කරන සෑම යහපත් දේකටම ලකුණු දෙනව. දැන්, ඔයාල බස් එකේ හරි කෝච්චියේ හරි වාඩිවෙලා යද්දී  එන වයසක ආච්චි කෙනෙක්, සීය කෙනෙක්, ඒ වගේම ලෙඩින් පෙළෙන කෙනෙක් හිටගෙන ඉන්නව දැක්කොත් නැගිටලා තමන්ගෙ ආසනය දෙන එක හොද පුරුද්දක්...

"ඇයි ගැබිනි මවුවරුන්ට...ආබාදිත රණවිරුවන්ට......" හැරී කිවුවා...

" බොහොම හොදයි...ඒ අයටත් අපි නැගිටලා ආසනය දෙන්න ඕනෙ...ඒ විතරක් නෙමේ අපිට වැඩිය වැඩිහිටි කෙනෙක් දොරෙන්  ඇතුළට එනව නම් අපි ඒ අයට ඉඩ දීල පසෙකට වෙන්න ඕනෙ. අපි දොරක් වහද්දි සන්සුන්ව වසා දමන්න ඕනෙ. එහෙම නැතුව හයියෙන්, සද්දෙ ඇහෙන්නත් එක්ක වහන්න හොද නෑ. වැඩිහිටි කෙනෙක් කතා කරද්දි සන්සුන්ව අසා සිටින්න ඕනෙ, එකටෙක කියාගෙන යනවනම් ඒක වැරදියි. තමුන් හැම මොහොතකම කොහේ හරි තැනකට යනවනම්  තමන්නෙ කකුල් එහි ඇති පාපිස්නාවෙ පිසදාල යන්න ඕනෙ. මේ ඔක්කොම හොද පුරුදු. ඒ විතරක් නෙමෙයි කාන්තාවක් ඉස්සරහදි තමන් පැළදගෙන ඉන්න හිස්වැස්ම ඉවත් කරන එකත් හොද පුරුද්දක් විදියටයි සළකන්නෙ. මේ වගේ තව ගොඩාක් ‍හොද පුරුදු තියෙනවා.  ඉතින් ඔයාලට මේ සතිය පුරාවට වැඩියෙන් ලකුණු අරගෙන තරගෙන් දිනන්නනම් මේ හොද පුරුදු රැක ගන්න ඕනෙ..." කියල ගුරුතුමා කිව්ව.

" ඒ නරක පුරුදු කිසි දෙයක් අපි නොකර හිටියනම් අපිට දිනන්න පුළුවනි...නේද ටීචර්.." හැරී ගුරුතුමාගෙන් ඇහුව..
"හොදයි... හැබැයි නරක පුරුදු ඔයාලගෙ ලකුණු අඩුකරාවි...." ගුරුතුමා කිව්ව.

හැරී කීත් දිහා මහත් ඕනෑකමකින් බැලුව. "   කීත් හැම වෙලාවෙම කකුල් පිහදාන එක අමතක කරල ඇතුළට එන එකෙන්  අපිට ලකුණු ගොඩක් අඩුවේවි. කීත් නිසා අපි පැරදේවි..." හැරී එහෙම කියනකොට කීත්ගෙ රතුපාටට හුරු  සුදුපාට මූණ තවත් රතු වුණා.

 " මම මතක තියා ගන්න උත්සාහ ගන්නම්.." කීත් දුකින් කිව්ව.
කීත් ගොඩාක් උත්සාහ කළා. ඒත් එයා කොච්චර උත්සාහ කළත් එච්චර කාලයක් එයාට කකුල් පිහදාල පන්තියට ඇතුළු වෙන එක  මතක තියා ගන්න බැරුව ගියා. ඉතින් කීත් හින්ද ගොඩක් ලකුණු පන්තියට අහිමි වුණා. කීත්ගෙ යාළුවන්ට ගොඩාක් තරහ ගියා " ඔයා බොහොම නරක ළමයෙක්.. හොද පුරුදු වලින් අපේ පන්තියට ජය ගන්න බැරිව ගියා. ඒ ඔක්කොම වුණේ ඔයා නිසා. ඒ ඔයාට කවදාවත් ඔයාගෙ කකුල් පිහදාල පන්තියට ඇතුළු වෙන එක මතක තියා ගන්න බැරි නිසා,  ඔයා නරකම නරකම ළමයෙක්..." කීත්ගෙ යාළුවෝ එයාට  කිව්ව.

එයා කොච්චර උත්සාහ ගත්තත් කකුල් පිහදාන එක මතක තියා ගන්න එයාට තාම නොහැකිවීම ගැන කීත් ගොඩාක් දුක් වුණා. මම කොහොම මේ වැරැදි හදා ගන්නද කියල හිත හිත කීත් ගෙදරට දුවගෙන ගියා.

එදා දහවල් කීත්ගෙ හදන්න තිබුණු සපත්තු ජෝඩුවකුත් අරගෙන කීත්ගෙ අම්ම කීත් එක්ක නගරයේ සපත්තු මහන්නා ලගට ගියා. සපත්තු මහන්නා ගොඩාක් මහලු කෙනෙක්. එයා කුදු ගැහිලා සපත්තු කුට්ටමක් මහ මහ හිටිය. සපත්තු මහන මහලු සීයගෙ වයස අවුරුදු සීයයක් ‍වත් වෙන්න ඇතැයි පුංචි කීත් සිතුව.

" සුභ මධ්‍යාහ්නයක් වේවා! ඔබට පුංචි මහත්තයා.. ඉතින් කියන්න කොහොමද ඔයා හොදින්ද ? "  පැළද සිටි ඝන උපැස් යුවල අතරින් කීත් දිහා එබී බලමින් මහලු සපත්තු මහන්නා ඇහුව...

"වරදක් නෑ සීයෙ..."  කීත් කිවුව. ඒ විතරක් නෙමේ එයාගෙ නරක පුරුද්ද ගැනත්  ඒ හින්දම ඉස්කෝලෙ පැවැත්වුණු තරගයෙන් එයාගෙ පන්තියට ලකුණු වැඩියෙන් ගන්න බැරි වුණ එක ගැනත් මහලු සපත්තු මහන්නාට කිවුව. එහෙම කියල කීත් එයාගෙ දුක තුනී කර ගන්න බැලුව.

" බොහොම නරකයි බොහොම නරකයි..." මහලු සපත්තු මහන්නා උරණ වුණා. " සපත්තුවල මඩ ගෑවුනාම  ඒව සවුත්තු වෙනව කියල දන්නැද්ද චූටි මහත්තයෝ.... ඒ විතරක්ද ඒව පැළදගෙන ගේ ඇතුළෙ, පන්තිය ඇතුලෙ එහෙ මෙහෙ යනකොට මඩ තැන් තැන්වල ගෑවිලා අපිරිසිදු වෙනවා...එහෙම නේද පැටියෝ...." සපත්තු මහන්නා ගොඩාක් ආදරෙන් කීත්ට කිවුව.

" හැබැයි මම කරල තිබුණු විදියටම ඔයත් කරානම් ඔයා ඔයාගෙ සපත්තු බොහොම හොදට ආරක්ෂා කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයා කරන නරක පුරුදු බොහොම  ඉක්මණටම නැති වෙලා යාවි.... ඔව් මට මතකයි.. මම තරුණ කාලෙ...මට චූටි මල්ලියෙක් හිටිය...එයත් හරියට චූටි මහත්තය වගේමයි. එයත් කවදාවත් එයාගෙ සපත්තු  පිහදැම්මෙ නෑ, පොලිෂ් කරේ නෑ. අඩු තරමෙ  එක වරක්වත්.... ආහ්...පුදුමයක්....  එයා ඉක්මණටම එයාගෙ වැරැදි හදා ගත්ත.

"එයා එයාගෙ වැරැදි හදා ගත්ත !, කොහොමද එයා ඒ තරම් ඉක්මණටම එයාගෙ වැරැදි හදා ගත්තෙ. මටත් ඕනෙ ඉක්මණටම මගෙ වැරැදි හදා ගන්න..." කීත් නොඉවසිල්ලෙන් කිවුව.

"ඔව්, මොකද බැරි..."  එහෙම කියපු මහලු සපත්තු මහන්නා බැරෑරුම් බවක් මුහුණට ආරූඪ කර ගත්ත.

"මේ බලනව තරුණ ළමයො...මෙන්න මේ ටින් එක ගෙදර අරන් ගිහින් මේකට මම දාල තියෙන මේ කහපාට පොලිෂ් වලින් ටිකක් අරන් ඔයාගෙ සපත්තු පොලිෂ් කරන්න. එතකොට ඉක්මණටම ඔයාගෙ සපත්තු පිරිසිදු වෙයි. ඒ වගේම ඔයාගෙ ඔය නරක පුරුද්දත් ඔයාට අමතක වෙලා යයි. මගේ චූටි මල්ලිට හොද වුණා වගේ ඔයාත්  ඉක්මණටම හොද ළමයෙක් වේවි....ඔව් ඔව් එයා නම් හොදටෝම සුව වුණා...." වයසක මහල්ලා කියාගෙන ගියා. ඒත් ඒ කොහොමද කියල මහලු සපත්තු මහන්නා කියන්න ගියේ නෑ...කීත් අහන්න ගියෙත් නෑ. එයා ටින් එකත් අරගෙන වේගයෙන් ගෙදරට දුවගෙන ගියා.

" කීත් ගෙදර තිබුණු හැම සපත්තුවකම අර කහපාට පොලිෂ් ආලේප කරල, බ්‍රස් එකක් හොයාගෙන හොදට පොලිෂ් කරා. දැන්  කීත්ගෙ හැම සපත්තුවක්ම දීප්තිමත්ව බැබළෙන්න පටන් ගත්ත. කීත්ට හරි සතුටුයි...ඒක අරුම පුදුම පොලිෂ් ටින් එකක්.....කීත් හිතුව.

කීත් පසුදා උදෑසනම දීප්තිමත්ව බැබළෙන සපත්තු ජෝඩුවකුත් පැළදගෙන පාසලට දිව ගියා. ඒත් ඇත්තටම එදත් කීත්ට පන්තියට ඇතුළු වෙලා පාපිස්ස උඩින් ඇවිදගෙන ගියත්  කකුල් පිහදාන්න අමතක වුණා.  එයා එයාගෙ පුටුවෙ වාඩි වෙලා පොතක් අතට ගත්ත. ඒත් ටික වෙලාවක් යනකොට එයාගෙ දෙපා වලට දරාගන්න බැරි අපහසුවක් දැනෙන්න පටන් ගත්ත. එයා දැක්ක එයාගෙ සපත්තු ජෝඩුවම ටිකෙන් ටික කුඩා වෙන්න පටන් ගන්නව. දැන් කීත්ට, එයාගෙ සපත්තු දෙක කකුල් දෙකට ගොඩක් තදට දැනුණ. පුංචි කීත්ට මේ වේදනාව ඉවසන් ඉන්න පුළුවන් වුණේ නෑ. කීත් එයාගෙ ලේස් බුරුල් කරල එයාගෙ මඩ තැවරුණු සපත්තු ගලවල දැම්ම.

ඔයාල හිතන්නෙ, ඊට පස්සෙ මොනව සිද්ධ වෙන්න ඇද්ද?  කාටවත් හිතාගන්න බැරි අරුම පුදුම සිදුවීමක්. එයා සපත්තු ගලවපු ගමන්ම, විශාල ශබ්දයක් නගමින් සපත්තු දෙක පාපිස්න තියෙන පැත්තට දුවන්න පටන් ගත්ත. පා පිස්නාව උඩට දුවගෙන ගියපු සපත්තු දෙක එයාල විසින්ම ප්‍රවේශමෙන් අතුල්ල ගනිමින් තමන්ගෙ ඇගේ තියෙන මඩ දුවිලි පිහිදගන්න පටන් ගත්ත. මේ ගොල්ලන්ගෙ සද්දෙ කීත්ගෙ ගුරුතුමාට විතරක් නෙමෙයි කීත්ගෙ යාලුවන්ටත් ඇහුණ. ඒ ගොල්ලො හනි හනිකට පාපිස්නාව ලගට දුවගෙන ආව මේ අරුම පුදුම සිද්ධිය බලන්න. ඔවුන්ට තේරුණා මේ කීත්ගෙ මඩ තැවරුණ සපත්තු කුට්ටම තමයි කියල. ඔවුන් හයියෙන් හිනාවෙන්න පටන් ගත්ත. ඔවුන්ගෙ හිනාවෙ තරම කිව්වොත් හිනා වෙලා හිනාවෙලා ඇස් වලින් වැටිච්චි කදුලු කම්මුල් දිගේ කඩා හැලෙන තරමටම හිනා වුණා.

"හෝ....හෝ....හෝ...හා...හා....හා ... බලන්නකො අර සපත්තු දිහා....කීත්ට එයාගෙ සපත්තු පිහදාන්න අමතක වෙන නිසා එයාලම ඒව පිහිද ගන්නවා...අයියෝ...කීත්ට කොච්චරනම් ලැජ්ජාවක්ද අයියො......හෝ...හෝ...හෝ....." එයාල එහෙම කියල විනොද වෙන්න පටන් ගත්ත.

කීත්ගෙ මුහුණ රතු වුණා. එයා එයාට හිනාවුණූ අය දිහා පිළිකුලෙන් බලන් හිටිය. කීත් තමන්ගෙ පුටුවට වෙලා ඉදගෙන එයාගෙ සපත්තු දෙක තමුන් ලගට එනතුරු ලජ්ජාවන් යුතුව බලන් උන්න. සපත්තු යුගල හොදටම පිරිසිදු වුණාට පස්සෙ සට සට ශබ්දයක් නගමින් කීත් ලගට ආව. කීත් ඒව පැළැද ගත්ත. පිරිසිදු වෙලා ආපු සපත්තු කුට්ටම හරියටම කකුල් දෙකේ ගානටම තිබෙන බව කීත්ට දැනුණ.

එදා දහවල් දවස පුරාම කාගෙ කාගෙත් කතා බහට ලක්වුනේ කීත්ගෙ අරුම පුදුම සපත්තු කුට්ටම ගැනයි. ඒත් කීත් එයාලත් එක්ක එකතු වුණේ නෑ.  ඉස්කෝලෙ ඇරුණු විගසම එයා   වෙනදාටත් වඩා හයියෙන් දුවගෙන ගියේ එයාගෙ සපත්තු කුට්ටම ගලවලා දාල ඒකෙන් නිදහස් වෙන්න හිතාගෙන. එයා සපත්තු කුට්ටම ගලවන්න හදනවත්  එක්කම  දැක්ක එයාගෙ ජෝර්ජ් මාම එතැන ඉන්නව.

" හලෝ.....මෙන්න සුළි කුණාටුවක් එනෝ....." ජෝර්ජ් මාම එහෙම කිව්ව‍ෙ විහිලුවට. පුංචි කීත් දුවගෙන ඇවිත්  ජෝර්ජ් මාමව වැළද ගත්ත. ජෝර්ජ් මාම එයාට ගොඩාක් ආදරෙයි. කීත්ට හැමදේම අමතක වුණා. කොටින්ම කියනවනම් එයාට ආයෙත් සපත්තු පිහදාන එක අමතක වෙලාම ගියා. ඒත් එච්චර කාලයක් ගියෙ නෑ. එයාගෙ සපත්තුම ආයෙමත් ඒ ගැන මතක් කරල දුන්න.

පුංචි කීත්ට ආයෙත් දැනුණ එයාගෙ සපත්තු දෙක තද වෙනව වගේ කියල. කීත් හොදටම බිය වුණා. එයා බයෙන් බයෙන් ලේස් බුරුල් කරල සපත්තු දෙක ගලවල දැම්ම. සපත්තු කුට්ටම  කාමරයෙන් එළියට දුවගෙන ගිහින් දොරකඩ ඉස්සරහ තියෙන පාපිස්ස උඩට ගියා.  ජෝර්ජ් මාමයි අම්මයි දෙන්නම පුදු‍ම‍ වෙලා බලන් උන්න. කඩිසර කමින් එයාල විසින්ම සපත්තුවල අඩියේ තිබුණු මඩ සුද්ද පවිත්‍ර කර ගන්න විදිය  හරිම පුදුමයි. අම්මයි මාමයි දෙන්න තාමත් පුදුම වෙලා ඒ දිහා බලන් ඉන්නව පුංචි කීත් දැක්ක.

" මේ වගේ දෙයක් මම නම් කවදාවත් දැකල නෑ..." අම්ම ජෝර්ජ් මාමට කිව්ව. ඉස්කෝලෙ ගුරුතුමයි යාළුවොයි වගේ ජෝර්ජ් මාමයි අමමයි දෙන්නත් ඇස් වලින් කදුළු කැට පනිනතුරු හිනාවුණා. ඒත් කීත් හිනා වුණේ නෑ.  එයාට එයා ගැනම ලොකු තරහක් ආව.

ඒ සතිය පුරාවට හැම දෙයක්ම සිද්ධ වුණා. ඒත් කීත් වෙනස් වුණේ නෑ. කීත් තමන්ගෙ කකුල් පිහදාන එක හැමදාම අමතක කරන නිසා සපත්තුත් හැමදාම පාපිස්ස උඩට ගිහින් පිරිසිදු වෙලා එන්න පටන් ගත්ත.

ආයෙත් අලුතින් සතියක් පටන් ගත්ත. පසු ගිය සතිය පුරාවටම වෙච්චි දේවල් අමතක කරල කීත් සදුදා උදෑසනම ඉස්කෝලට ගියා.  කීත්ගෙ පන්තියෙ හිටිය ගැහැණු පිරිමි යාළුවො ඔක්කොම පුල පුලා බලා හිටියෙ කීත්ට කකුල් පිහදාන්න අමතක වෙනකම්. ඒ වෙන මොකවත් හින්ද නෙමෙයි. කීත්ගෙ සපත්තු කුට්ටම පාපිස්නාව උඩට ගිහින් පිරිසිදු වෙන හැටි බලන් ඉදල එයාලට සතුටු වෙන්න  පුළුවන් වෙන හින්ද.

ඒත් එදානම් කීත්ට කකුල් පිහදාන්න අමතක වුණේ නෑ. කීත් පාපිස්නාව උඩ හිටගත්තා. එයා අනිත් අය කරා වගේම තමන්ගෙ කකුල් පාපිස්ස මත තබා පිරිසිදු කර ගත්ත. ඒත් පුංචි කීත්ගෙ  වම් කකුලෙ සපත්තුවෙ පිටිපස්සෙ මඩ චුට්ටක් ඉතිරිවෙලා තියෙනව කීත් දැක්කෙ නෑ. එයා කකුල් දෙක පිරිසිදු කරල ඉවරයි කියල හිතාන පන්තියට ඇවිත් එයාගෙ පුටුවෙ වාඩි වුණා. කීත්ට හරි සතුටුයි. එයාගෙ යාළුවන්ටත් සතුටුයි..ඒ විතරක් නෙමෙයි කීත්ගෙ ගුරුතුමාත් ගොඩාක් සතුටු වුණා..දැන් කීත් හොද ළමයෙක් කියල...

අවාසනාවකට කීත්ගෙ සතුට එච්චරවෙලා රැදුනෙ නෑ. කීත්ගෙ වම් කකුල ටිකෙන් ටික තද වෙන්න පටන් ගත්ත. කීත් දුකින් වට පිට බැලුව. එයාගෙ යාළුවන්ටත් තේරුණා  කීත්ගෙ වෙනස. ඒත් වෙනද වගේ කීත්ට ඔච්චම් කරන්නට ය‍ාළුවො ආවෙ නෑ. එයාල කීත් ලගට ඇවිත් කීත්ගෙ දුක බෙදා හදා ගත්ත...කීත් වෙනද වගේම ලේස් එක බුරුල් කරල තදවුණු සපත්තුව ගලවල දැම්ම. ඊට පස්සෙ සපත්තුව දුවගෙන ගිහින් පාපිස්ස උඩ හිටගෙන එහෙට මෙහෙට පෙරළි පෙරළි චූටි චූටි මඩ කෑලි ඉවත් වෙන තුරු පිරිසිදු කරගෙන  ආයෙත් කීත් ලගට ආවා.

කීත්ට ඉවසගන්න බැරිතරම් දුකක් දැනුණ. මට මගේ සපත්තු පිරිසිදු කරන එක විතරක් නෙමෙයි,  ඒවගේ තියෙන චූටි චූටි මඩ දූවිලිත් හැම මොහොතකම අයින්කරන්න  වෙනවා. මට ඒක කවදාවත් කරන්න බැරි වේවි. සපත්තු හැමදාම පාපිස්ස උඩට යන්න ගත්තොත් මගේ යාළුවො මට හැමදාම හිනාවෙයි. අපරාදෙ.. ! අර මහලු සපත්තු මහන්නාට මං ගැන කිිසිම දෙයක් නොකිය ඉන්නයි මට තිබුණෙ......කීත් හිතුව.

දැන් කීත් ටිකක් ලොකු ළමයෙක්. කකුල් ලොකු වෙලා අර සපත්තු දාන්න බැරි මට්ටමට ආව. ඒ වන තෙක්ම අර මහලු සපත්තු මහන්නා දුන්න කහපාට පොලිෂ් ඉතිරිවෙලා තිබුණ. කීත්ට අලුත් සපත්තු කුට්ටමක් හදා ගන්න ඕනෙ වුණා. ඉතින් කීත් පසුවදාම මහලු සපත්තු මහන්නා ලගට ගියා.  ඒවගේම, අලුත් සපත්තු ජෝඩුවක් දෙනකොට අර කහපාට පොලිෂ් ගල්වන්න එපාය කියල කීත් මහලු සපත්තු මහන්නාගෙන් ආයාචනය කරා.

" ආහ්...ඒත් පුංචි මහත්තයාට සහතිකවම කියන්න පුළුවන්ද දැන් ඔයාට හොදයි කියල...." මහලු සපත්තුමහන්නා පුංචි කීත් දිහා දුඹුරු පාට උපැස් යුවල අස්සෙන් බැලුව.

"ඇත්තටම ...ඇත්තටම ..දැන් මට හොදටම හොදයි..." කීත් ස්ථීරවම ප්‍රකාශ කරා. " කොහේ හරි යද්දී කකුල් පිරිසිදු කරගෙන ඇතුළට යන එක මට කවදාවත් අමතක වෙන්නැති වේවි... ඒ හින්ද අර කහ පාට ‍පොලිෂ් ගල්වන්නෙ නැතුව මගේ අලුත් සපත්තු කුට්ටම මට දෙන්න.." කීත් බැගෑපත් වුණා...

"බොහොම හොදයි.....බොහොම හොදයි...." මහලු සපත්තු මහන්නා ආදරෙන් කීත් දිහා බලාගෙන ඉදල අලුත්ම අලුත් සපත්තු කුට්ටමක් කීත්ට දුන්නා.  කීත් ඒ සපත්තු කුට්ටමත් අරගෙන  ගෙදරට දිවුවා. කීත්ගෙ සපත්තු කුට්ටම හරියට ඔයාගෙයි මගෙයි වාගෙම එකක්.

හැබැයි කීත් ආයෙ කවදාවත් එක දෙයක් අමතක කරේ නෑ...ඒ මොකද්ද දන්නවද? එයා කවදාවත් කොහේට ගියත් කකුල් පිහදාල යන එක අමතක කරේ නෑ....කීත් වෙනදා වගේම එයාගෙ යාළුවොත් එක්ක සතුටින් හිටිය.

ඒත් තවම කීත්ගෙ පරණ සපත්තු කුට්ටමයි පොලිෂ් ටින් එකයි  එයාගෙ අම්ම පරිස්සමින් තියාගෙන ඉන්නවා. ඒ මොකටද දන්නවද ? බෑ බෑ ඒක කියන්න බෑ. හැබැයි  ඒ ඇයි කියල පුංචි කීත් නම් හොදට දන්නවා......
 ======================================

 ENID BLYTON  විසින් රචිත The Three Strange Travelles and Other  Stories කතාවේ පරිවර්තනයකි.