Tuesday, December 27, 2016

පුනරාගමනය


කදුළු වැක්කෙරෙන
දෙකොපුල් අතරින්,
හිනැහෙන
නුඹේ දෙනෙත් යුග,
දෙස බලා මං
කෙසේ යන්නද,
දමා තනිකර හුදකලාවේ

පුංචි පුතු හිනැහෙන
මුවින් තන පුඩු විකාගෙන
කෙසේ මම්  යන්නද
හදවත වානෙන්
තැනුවෙකු සේ

කම්බියක් ගැටගසන්
බෙසියරයෙ කෙලවරට
කදුළු කැට බේරෙන්නෙ
ඉරී ගිය හැට්ටෙට
පුංචි පුතු අත යොමයි
ඇට සැකිලි පපුතුරට

එහෙව් උඹ දෙස
බලාගෙන මං
තවත් කුමටද
මෙහි රැදෙන්නේ
හදවත වානෙන්
තැනූවෙකු සේ

මියෙන්නට යන්නෙමි
සංසාරෙ දිනයෙක
කරකාර ගන්නෙමි
රැජිණියක කර නුඹව
මාළිගාවක තියන්නෙමි


Monday, December 26, 2016

“බොහෝ දේවල් කියන්නට ඇත කිමද නාවේ ගෙවල් පැත්තේ"





නුපුරුදු අංකයකි දර්ශන තලය













මත

තැබුවෙමි සුරත හෙමිහිට දුර බනුව
වෙත

ගන්නද නොගෙන ඉන්නද පොර බදී
හිත

හෙලෝ කවුද ? මේ පවසනු මැනවි
මිත




එකමත් කලක එක පොල්කට්ටේ
බීව

ඇයි බං අමතකද බොට දැන් මේ
මාව

ටකරං හඩක සද්දෙන් ඇතුලෙන්
ආව

ඒවා වචනමද  හී සැරයකි
ගෑව




ඇති වුණි දුකක් නුඹ ගැන හිතවත්
මිතුර

මුව වේලුනා නොතිබිණි බීමට
වතුර

බොරුවක් කියනු හැර නොතිබිණි ඉඩ
හසර

කුළියක නිරත වී සිටියෙමි ඒ
අතර




“බොහෝ දේවල් කියන්නට ඇත කිමද  නාවේ  ගෙවල්
පැත්තේ
කෙසෙල් කැන්නම් දෙක තුනක් ඇත ඉදීලා ගේ ඉහළ
වත්තේ”
කියපු හැටි උඹ අහන් හිටියෙමි කදුලු හංගන් ඇස්
දෙපැත්තේ
අත් වනාගෙන නිකං එන්නද අතේ තඹ දොයිතුවක්
නැත්තේ



අතේ ගැවසුණු පුංචි මුදලක් ළූනු කොටුවට
වැය වුණා

අවාරේ ආ වැස්සකින් ඒ සියල්ලම මගෙ
යට වුණා

මහා නියගෙන් වැටුණු හෙණකට මගේ සියොලග
යට වුණා

ටැට්ටරේ ණය ගෙව්වෙ බිරිදගෙ රත්තරං කණ කර
උනා




හතර අත ණය වෙලා ගියවර කෙටූ හේනට වින
වුණා

සෝය හදලා වියදමත් නෑ කකුල් දෙකනං හිල්
වුණා

දොට්ට ගෑවී මී සතුන්ගේ මී උණෙන් හෙම්බත්
වුණා

සුමනෙ මාමගෙ බටු  කඩන්නට බිරියටත් යන්නට
වුණා





කුමටද මුසා මේ පවසන්නේ
                  සත්ත

කුසගිනි නිවයි පවුලෙම වානේ
කැත්ත

පිල්කඩ හිදී මා එනතුරු දරු
රොත්ත

වෙන සැප කුමට මගෙ දිවියට මතු
මත්ත




අල්ලපු ගෙදර සයිමන් මාමගෙ
කුඹුරේ

අත්තන් යන්න තියෙනව මට දැන්
මිතුරේ

පාඩුව දැනෙයි හිටියොත් උඹ හා
ඇසුරේ

එන්නම් දිනෙක කිමිදෙමු අප තුටු
වතුරේ




මිනිත්තුවකුයි උඹෙන් ගත්තේ මගේ මේ දුක
කියන්න

උඹයි ඉන්නා එකම මිතුරා මගේ දුක් කද  
අහන්න

මෙත් ගුණත් පිරිහිලා  මේ ලොව යාවි ටික ටික
ගිලෙන්න

උඹට පිහිටයි සියළු දෙවිදුන් වරෙන් දිනයක ඇවිත්
යන්න

Monday, November 21, 2016

ඒකිත් ගෑණියක්


එදා ලස්සන දවසක්. නැගෙනහිරින් හිරු පායා එද්දි හරිම ලස්සනයි. නැතුව ඉතින් බස්නාහිරින් ඉර පායනවයැ. අත් දෙකෙහි ඇගිලි මිටිකර දෙපැත්තෙන් ඉහලට  දික් කර උදෑසන ඇග හිරි ඇරියෙමි. ජනෙල් කූරු අතරින් පරිසරය දිහා බලනවට වඩා කොච්චර ලස්සනද මිදුලට ගිහින් ඒ සතුට විද දරා ගන්න එක. මම මිදුලට බැස්ස. මොන කෙහෙල්මල් ලස්සනක්ද. වත්ත පුරා තේක්ක කොල වැටිල.ඒ මදිවට ගස් දිගේට දළඹුවො බේරෙනව. මට අප්පිරියාවෙ බෑ ඔය තේක්ක කොල වැටිල තියෙන එක. කපල දාන්න ඕනෙ ගස් ටික ඹක්කොම. ඒ මදිවට කොහෙන්දෝ තණකොල වගයක් ගෙනැත් ඉන්දලා දැන්නම් පොඩ්ඩ පොඩ්ඩ විහිදිලා ගිහිං. ඒත් පායපු ඉඩෝරෙට ඔක්කොම තණකොල ටික කහ ගැහිලා. ගෙයි පදිංචියට ආපු දවසේ ඉඳන් හදනවා හදනවා මල් පැල ඉවරයක් නෑ. ඒත් සාරවත්ව හැදිල මල් හට ගත්තු එක ගහක්වත් නෑ. හරියට මගේ හදවත වගේද කියලත් හිතුණා. කොච්චර පොත් පත් කියෙව්වත් කිසි දෙයක් මතක සන්තකේ නෑ. හරියට වැලි සල්ලඩේකින් වැලි සල්ලඩ කරනව වගේ ඔක්කොම සල්ලඩ වෙනව.

 ඇත්තටම එදා ගොඩාක් ලස්සන දවසක්. වෙනදා ඉර පායාගෙන එනකොට  කඩාවැටෙන ඉවසන්න බැරි ගිනි ගින්දර රසිනිය වගේ නෙවෙයි එදා ඒ පායපු අව්වට කලින් දවසෙ චන්ද්‍ර රාජයාගෙ සිසිලසින් කොටසක් තෑගි කරල වගේ. ඒ තරමටම සෞම්‍යයි. හදවතට විතරක් නෙමේ මුළු පංචස්කන්ධයටම ඒ සිසිලසේ අසිරිය දැනුන.

“ ජයන්ත .....කෝකටත් ආයෙත් පාරක් කට්ටිය වැඩට එනවද කියල බලාගෙන ආවනම් නරකද..? තේකත් අරං එන ගමන් රේණුකා කටහඩ අවදි කලා.

“ඔව් ඒක ඇත්ත.....හතට විතර ගිහිං එන්නම්......ම්....“

උදේ පාන්දරම මිනිස්සුන්ගෙ ගෙවල් ගානෙ යන්නත් බෑ. ඒත් නොගිහිිනුත් බෑ. එහෙම වුණොත් උන් වෙන කාගහෙරි වැඩකට යනවා. ඒ තරමටම විස්සාසයක් තියාගන්න පුළුවන් උන්නෙ ඉන්නෙ. මේ..හවස කියනව අනිවාර්යයෙන්ම උදේ එන්නම්ය කියල...කුඹූරට ගිහිං කුඹුරු අයිතිකාරය උන් එනකං බලං ඉන්නව. එතකං උන් උන්ගෙ එකෙක්ගෙ  හරි කාගෙ හරි සල්ලිතියෙන එකෙක්ගෙ කුඹූරක වැඩට ගිහිං....ඔන්න ඕකයි තත්ත්වෙ.

හවස පොරොන්දු දුන් දෙදෙනාම පසු දිනත් නොවරදවාම එනබව උදෑසන හමුවීමට ගිය පසු සහතික විය. ඒ අතර මට මහත්තයා මුණ ගැසිණ. අපේ කුඹුරට අල්ලපු කුඹුර වැඩ කරන ඔහුගේ පැමිණීම මා කිසි දිනෙක අපේක්ෂා නොකළත් ඔහු අලුත් වැඩ කාරියක් හදුන්වා දුන්න.

“ඒයි උඹට වැඩට එකෙක් හොයල දෙන්නද? එකෙක් කිව්වට...........එකියක්...“

“මොකෙක් හරි කමක් නෑ ඉන්නවනම්......ඉතිං තෙපර බබා ඉන්නෙ නැතිව කියපංකො.....“

“ උඹ ඔහොම්ම පලයන් සෝම නැන්දලාගෙ ගෙදර ....එහෙ ඉන්නවා මරු කෑල්ලක්...වැඩට කියාපු කෑල්ල...“

“ උඹ ඇත්තනෙ ඔය කියන්නෙ....“ 

“ හරි හරි පලයංකො....මමනේ කියන්නෙ...“ මහත්තයා සහතික විය.
මම  සොම නැන්දලාගෙ ගෙදර මිදුලටම ගොස් මෝටර් සයිකලය නතර කළේ හරියටම ඉදිරිපස දොර ඉදිරියෙනි.

“ සෝම නැන්දා......“ 

සද්දයක් බද්දයක් නැතත් ටික වේලාවක් ගිය පසු තරුණ කාන්තාවක්  දොර කිට්ටුවට පැමිණියා. අැඟට කිටි කිටියේ හිරවෙච්චි  තනි සුදු පාට වෙස්ට් එකකින්  ඇය සැරසී  සිටියා. . මගේ දෙනෙත් සරළ රේඛාවක් පරිද්දෙන් ඇයගේ  මනාව පිම්බුණූ එහෙත් එල්ලෙන දෙතන කරා  ඇදී  ගියා. එතරම්ම විශාල නොවෙතැයි කිව හැකි තනපුඬු පැහැදිලිවම ඇද සිටි බැනියම හිල් කරගෙන යාමට සූදානම් වී සිටින්නාක් මෙනි. ඇයට එය ගාණක් නැත. ඔහේ මා දෙස බලාගත්වනම බලාගෙන සිටී. මා කිසි දිනෙක ඇය දැක නැත. ඇයද මා දැක නැතුවාට  කිසිම සැකයක් නැත. වයස අවුරුදු තිහක් හෝ ඊට වැඩි වුණද ඊට අඩු වයසක්නම් කිසිසේත්ම ඇයට නොගැළපෙනු ඇත. එහෙත් අැයගේ මුහුණේ පෙනුමෙන් හා ශරීරයේ හැඩහුරුකමෙන්  දරුවන් වැදු  ගැහැණියකගේ ලකුණක්  නොපෙන්වයි.

“ හා... ඒත් මං මේ බැලුවෙ කවුද කියල.....“ සෝම නැන්දා මිදුලට බැස්සාය.
“මේ...කතා කර කර ඉන්ඩ  වෙලාවක් නෑ.....මේ නංගිට අද අපේ දිහා වැඩට එන්න පුළුවන්ද කියන්න බලන්න ආවෙ නැන්දෙ.."

" අනේ පුතේ මෙයා.. ඊයෙනං අර විජේගෙ බඩිංගුරු වාගයක් නං කඩන්ට ගියා...ඔය කොන්දෙ අමාරුව කිය කිය හිටියෙ....මෙයාගෙන්ම තමයි අහන්ට ඕනෙ.." සෝම නැන්ද එහෙම කියනකොට  අර නංගි ඉස්සරහ දොරේ උළුවහුව දෑතින් බදාගෙන  ලාවට හිනාවක් දැම්ම.

" හරි ඉතින් ඔය කෙල්ල ඉන්නවනේ.....අනේ නංගි අද අපෙ වැඩට එන්න පුළුවන්ද....."  යි මම බයාදු ලීලාවෙන්  ඇහුව...." සෝම නැන්ද දන්නවනෙ ඉතින්  අපි මිනිස්සු මරවල වැඩ ගන්නැති විත්තිය.. එහෙම නේද ?"

" ඔව් ඔව් මම මොකද නොදන්නෙ.."

" එහෙනං නංගි එනව නේද..? "

" එහෙනම් මාත් එන්ටද වැඩට.." සෝම නැන්ද ඇහුව.

“ අනේ යන්ට නැන්ද යන්ට දැන්  නැන්දලා  හොදටම නාකියි....මොන වැඩද වල පයයි ගොඩ පයයි තියාගෙන.....“ මම කීවේ විහිලුවටය.

“ හා බලමුකො ඔය කාට කාටත් අපිත් එක්ක වැඩ කරන්ට පුළුවන්ද කියල.....“ ඇය අවසාන වශයෙන් කීවාය.
තරුණීය  කට කොනින් අයා ගත් සිනහවෙන් යුතුව සිදුවන සියල්ල බලාගෙන ගෙතුලට වී හුන්නාය.ඇය ලැජ්ජාශීලි එකියකැයි මම අනුමාන  කළෙමි. මා  ඇය දෙස හොරෙන් බලා සිනා සුනාය. ඇයද සිනා සුනාය. හිරට  ඇදගත් ඩෙනිම් කලිසමෙන් මේ ඇයගේ කකුල්වල තරම යැයි කියා පෑවාය. ඒ තරමටම හිරවනසේ ඇය කලිසම  ඇද සිටියාය...උදේ පාන්දරම ඩෙනිමක් ඇදගෙන .....වෙන ගෑණු නම් අදින්නෙ නයිටිනෙ.....මම නැවතත් ඇගේ පියයුරු දෙස හොරැහින් බැලුවෙමි. බැරිවෙලා හෝ මා ඇගේ පපු පෙදෙස දෙස බලන අයුරු ඇය දුටුවානම් අනිවාර්යයෙන්ම මා වලත්තයෙකු යැයි සිතනු නොඅනුමානය. ඇතැම්විට වැඩට එන්නට හෝ අදිමදි කරනු ඇත. මම අහක බලා ගත්තෙමි.

මා සෝමා නැන්දාගේ ගෙදරින් සමු ගත්තේ ඔවුන් දෙදෙනාටම වැඩට එන ලෙස දැනුම් දීය. සෝමා නැන්දා  අනිවාර්යයෙන්ම එන බවට මා හා පොරොන්දු විය. සෝම නැන්දාගේ ගෙදර සිටි යුවතිය ඈගේ බාල පුතාගෙ බිරිදය. ඇගේ බාල පුතා මට වසර කීපයක් වයසින් බාලය. එහෙත් ඔහුගේ බිරිය පසුව  දැනගත් ආකාරයට හරියටම මට වසරකින් බාලය. එමෙන්ම මතකයේ හැටියට මීට කලින්ද ඔහු  තම බිරිය ලෙස වෙනත් යුවතියක් කැන්දන් ආවා මගේ මතකයේ ඇත....දැන් ඔහු කඩුවෙල පැත්තේ වැඩපොලක වැඩ කරන බව පසුව මම ඇයගෙන්ම අසා දැනගත්තෙමි.

පළමු දින අපි සියළු දෙනාම මහන්සි වී වැඩ කළෙමු. වැඩය අවසාන වන්නට පැයක් පමණ තිබුණමුත් වැඩකරුවන් පිටත්වීමේ වේලාව ලං වූ බැවින් තවත් පැයක් වැඩිපුර වැඩ කළොත් රුපියල් සීයක් වැඩිපුර දෙන බවට පොරොන්දු වී වැඩය නිමා කොට ගත්තෙමි.  කටමැත දෙඩ වූ සෝම නැන්දාගෙන්නම් එතරම් වැඩක් වූයේ දැයි සිතිය නොහැකිය. එහෙත් ඒ බවක් ඇයට නොදැන්නුවේ ටික ටික හරි වැඩ කරන එක මා හට වාසි බැවිණී. එහෙත් දෙවැනි දා නම් කෙසේ හෝ ඇයව මග හැරිය යුතුමය.

ඇගේ නම අශෝකාය. ඇය මට වඩා වසරකින් බාලය. උපන් ගම කුරුණෑගල පැත්තේලු. මම වැඩ කරන අතරවාරයේ නිකමට මෙන් ඇගෙන් ආගිය තොරතුරු කතා කරන්නට වුණා. ඇයත් නොපැකිල එහෙත් කාටත් හොරා සිහින් හඬින් උත්තර දුන්නා. ඒ ඇයි කියන්න මම නොදනිමි. එනමුදු  පෙම්වතියක් තම පෙම්වතිය හා ආලයෙන් මුසපත් වී ඇති මොහොතක මුමුණන වදන් මෙන් ඇයගේ කටින් නික්මුණු වදන් පෙළ  සියුම් කිතියකින්  මගේ ගතත් සිතත් දෙකම කිළිපොලා ගියේය. වැඩ කරන අතරේම මා ඇයට තවත් ලං වුණෙමි. අමුතුම සුවඳක් ඇගේ ගතින් වහනය වූවාය. ගිනි අව්ව මැද දහඩිය පොල්ල බේරෙද්දී මම ඇයගේ සිරුරින් වහනය  වූ ඒ  සුව‍දෙයි රසය වින්දෙමි.

මම ඇයව  වසඟයට ගැනීමට තැත් කරන්නෙම්ද ? නොඑසේනම් ඇය විසින්  මා  වසඟයට ගැනීමට කුරුමානම් අල්ලන්නීද ?. මා සිතතුල  පැනයකි. මම ඇයට ආසා නොකළෙමි. එහෙත් ඇය දෙස මතුපිටින් බලන කවරෙකු තුළ වුව රාගාන්විත සිතුම් පැතුම් දිය උල්පතක් පරිද්දෙන් ඉනීම නොවැළක්විය හැකිය. ඒ එසේ යැයි ඇයට ආසා කිරීම හෝ ප්‍රේම කිරීමක් යන්න එයින් අදහස් නොවනු ඇත. එය නෙත් පිනවීම පමණක්ම වනු ඇත. එයින් පසු  මම ඇය මගහැර වෙනත් ලියද්දකට ගොස්  හුදකලාව වැඩ කළෙමි. මා නිකමටය ඇගෙන් තොරතුරු විමසුවේ. නමුත් ඇය මා වරදවා තේරුම් ගත්තාදෝයි මගේ චෛතසිකයන් එක පිට එක පොරබදන්නට විය. ඇය හොඳ ගැහැණියකැයි සිතිය නොහැක. මම කල්පනා කළෙමි. වැඩ අවසන් වන තුරු ඇය හා වැඩි බජනෙකට නොයෑමට ඉටා ගත්තෙමි.

" කකුලෙ කටු ඇනෙයි....මේවාගෙ උල් හරි සැරයි...ගෙදර නැද්ද සපත්තු දෙකක්..." මම එහෙම කිව්වෙ..සෝය මුල් වලට  දෙපාරක් තුන්පාරක්ම ඇයගේ යටි   පතුල් තුවාල වී තිබුණු ඇය "මේන්...." කියා පෙන් වූ නිසා මෙන්ම සෑම ගැහැණියක් වෙතම මා තුල ඇති ගෞරවය නිසාමය.  පසුදා උදෑසනම ඈ කුඹූරට ආවාය. ඇය අලුත්  සපත්තු යුගලයක් පැළඳගෙන උන්නාය. ඇය ඊයේටත් වඩා හැඩ යැයි මට සිතුණි. ඇය තවත් කැපී පෙනුනේ ඇඳගෙන හිටිය ඩෙනිම් කලිසමට උඩින් දණහිස් වලට ඉහළින් පස්සා පැත්ත වැසෙන පරිද්දෙන් ඇඳ සිටි  පරණ මල් මල් චීත්තය  නිසා යයි  සිතුණි.

" ඔය..ඔය කකුලෙ කටු ඇනෙන හිංද සපත්තු කුට්ටමක් දාගෙන එන්න කියපුවහම ඒ දෙක දාගෙන ආව...දැන් අත්කොට ටී ෂර්ට් එකක් ඇදගෙන .. මේ ගිනි අව්වෙ කොහොමද වැඩ කරන්නෙ....ඔයාගෙ අත්දෙක පිච්චිලා කලු ගැහෙයි...මං මේ කිව්වෙ අපෙ වගේ නෙවේනේ ඔයාල ගෑනුනෙ නේද ? ආ.. මේ අත්දිග ස(ර්)ට් එක ඇඳ ගන්න. මං රේණුකාට කියන්නම් එන ගමන් මට තවත්  ස(ර්)ට් එකක් ගේන්නය කියල.

දින දෙක තුනක් වැඩ කිරීමෙන් පස්සෙ වැඩ ටික ඉවර කර ගන්ඩ පුළුවන් වුණා. වැඩට ආ ඇතැමෙකුගේ දවසේ කුළිය එදින සවසම දුන්නද  අශෝකාට මුදල් හදිස්සියක් නැති බැවින් පසුව දෙන ලෙස ඇය විසින් ඉල්ලා සිටියත් මා එදින සවස මුදල් දෙන බවට පොරොන්දු වුණා. ඒ විතරක් නෙවෙයි...අශෝකා ඉතාමත් හොදින් වැඩකල බවට සහතිකයක්ද එතැන සිටි උදවියගෙන් ඇයට ලැබුණ. එය ඇයට වැදගත් වේ. ඒ, කම්මැලි නැතිව හොදින් වැඩ කරන අයට විතරක් හැමදාම එළවලු කොටුවල, හේන්වල,  කුඹුරුවල, වැඩ නොවරදින බැවිණි.

වැඩ කුළී සවස දෙන්නම් යැයි කියා කීවද  අශෝකාට දින දෙකක් යන තුරු මුදල් දීමට නොහැකි විණි. එක් සෙනසුරාදාවක මම සෝමා නැන්දලාගෙ ගෙදරට ගියා.

" සෝමා නැන්දා......සෝම නැන්දා......" මගේ කෑ ගැසීම ඊට මීටර් සීයක් විතර ඈතින් ඉන්න කෙනෙකුට පවා ඇහෙනව.යකෝ...මේ ගෙදර කවුරුවත් නැද්ද..?..ඒත් දොර ජනෙල් ඇරල දාල...මම එහෙම හිතුව. කෝකටත් කියල මම මෝටර් සයිකලය නවත්වා දොරකඩ ලගට ගියා.

" සෝම නැන්දා......" ම්හ..." අශෝකා....." යැයි මම දෙවන වරට අශෝකාට කතා කරා....ඒත් ගෙතුලින් කිසිම හාවක් වූවක් නෑ....මං පුංචි කාලෙ ඉස්සරහ දොරින් ඇතුළු වුණාට පස්සෙ නතර වුණේ පිටිපස්සෙ කුස්සියෙ දොර ගාව...එහෙව් මට ගේ ඇතුළට යන එක නුහුරු දෙයක් වුණේ නෑ...මම කෙලින්ම ගේ ඇතුලට ගියා..

" සෝම නැන්දා............" යන ගමන් මම කතා කරා...කිසිම හැළ හොල්මනක් නෑ. කුස්සියට යන අතර මග හමුවන කාමරය  කට්ට කළුවරය.. ඇතැම් ගෙවල ඇති කළුවර කාමරය හා සමානය. කලින් බහිරව කතාවක් අසා සිට පැමිණියේ නම්  සහතිකය නූල් බදින්නට සිදුවනු නොඅනුමානය. තත්ත්පරයකිනුත් දසම ගානකි. කුමක් හෝ සියුම් දෙයක් මගේ අත වැදුණි. එ ක්ෂණයෙහි මැණීක් කටුව ලගින්  මිටිකර තදින් අල්ලා ගන්නවා දැනුණි. මොහොතකින් හදවත ගැහෙන්නට වුණා.

" ජයන්ත අයිය......." කිසිම දවසක කිසිම මොහොතක බලාපොරොත්තු නොවුණ විදියට අශෝකා මා අභියසය. ඒ මාගේ අතින් අල්ලාගෙනය. කට්ට කලුවර කාමරේකය. බලු නට්ටෙක් පමණක් ඉස්සරහ මිදුලේ හිදී....ඌද මා එනු දුටු ඔලුව උස්සා බලා නැවත කකුල් දෙක අස්සෙ ගහගත්තේ නිවට නියාලු බව පෙන්වමින්.දෙලොවක් අතර නොව මා  ලෝක දහසක් අතර අතරමං වූවෙකු මෙන් හැඟුණි.

" මං....මේ...නංගිගෙ සල්ලි දෙන්න ආ..වෙ...කෝ..සෝම නැන්ද නැද්ද ? " වචනත් හරියට නොපිටවෙයි....

" අම්මයි රෝසියි දෙන්න ඉස්පිරිතාලෙට ගිහිං.. ඇරත් මං කිව්වනෙ අයියෙ සල්ලි පස්සෙ ගන්න බැරියැ කියල.....ඒත් අයියව මෙහෙම හම්බවෙයි කියල මට හිතුනෙම නෑ.." ඇය මගේ අත් දෙකම තදින්  අල්ලා මිරිකා ගත්තාය... මගේ සියොලඟම හිරිගඬු පිපෙන්නට විය. අනෝරා වැස්සකට තෙමිච්ච බලු කුක්කෙක් සේ ගැහෙන්නට විය...මම වට පිට බැලීමි...කට්ට කළුවරය.

මොහොතකින් ඈ මගේ උරහිසේ මුහුණ හොවා ගත්තාය. මම අන්ද මන්දව වීමි . කරකියා ගත නොහී,  "ඇ...යි  මේ...." යි  ඇගේ හිස පැත්තකට  කිරීමට මම අනවරත උත්සාහයක යෙදුනෙමි.  ඇය හිස ඔසවා මගේ මුහුණ දෙස බැලුවාය....කට්ට කළුවරේ වුව ඒ දෙනෙත් දීප්තිමත්ය.  ඒ තුල කුමක් ඇද්දැයි හදුනා ගැනීමට මට  හැකිවිය.. එදා පළමු දිනයේ දී  ඇඟට හිරවෙනසේ ඩෙනිම් කලිසමක් ඇඳ සිටි යුවතිය නොව දුහුල් රාත්‍රී ඇඳුමකින් ඇගේ ගත වැසී තිබුණි. පියයුරු යුවල ඔවුනොවුන්ට රිසි සේ හිඳී. " බයික්කෙක ඉස්සරහ ..."  මම මිමිණුවෙමි.

Monday, October 24, 2016

සමෘද්ධි නියාමක (ඡන්ද පොරෙන්දුව)


එක්දාස් නවසිය අනු හතර අවුරුද්ද. ලාංකීය දේශපාලනේ වැදගත් පිටුවක් පෙරලපු අවුරුද්දක්. ලෝකයේ හතරවන ජනාධිපතිනිය ලෙසටත් ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිනිය ලෙසටත්, ලෝකයේ පළමු වන අගමැතිවරියගේ දියණිය  වූ  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය පත්වීම ලාකීය දේශපාලනේ විතරක් නෙවෙයි විදෙස් රටවලත් නව පිටුවක් පෙරලුව. අවුරුදු දාහතක් තිබිච්ච යූ ඇන් පී ආණ්ඩුව පෙරළලා නව රජයක් බිහිකලා. පොදු පෙරමුණු  ආණ්ඩුවක්.  ඒත් ඒව  පුංචි නිමල්ට ඒ දවස්වල තේරුනේ නෑ. මොකද ඒ කාලෙ  නිමල් අම්මගෙ තනේ එල්ලිලා ඉදලා කිරි සුවදට ආයුබෝවන් කිව්ව විතරයි . ඒ තරම්ම චුට්ටියි. හැබැයි පුංචි නිමල් හැම දෙයක්ම බලාන උන්න...හැම දෙයක්ම ඇහැව්ව. අම්ම තාත්ත එක්ක හැම තැනටම ගියා...


“කාගෙද මේ බලවේගේ........“ මිනිස්සු යටිගිරියෙන් කෑ ගහනව.

“චන්ද්‍රිකාගෙ බලවේගේ.......“ පුංචි නිමල් එහෙම උත්තර දුන්න...හැබැයි ඒ මොකටද කියන්න දන්නෑ. ඒත් එයා ඒ  හිනාවීගෙන පින්තූරෙ ඉන්න චන්ද්‍රිකාගෙ පොස්ටර් කැලැන්ඩර් ගොඩාරියක් එකතු කරගෙන එයාගෙ පොත් මේසෙ උඩ තියා ගත්ත විතරක් නෙමේ....අර නිල් පාටින් තිබිච්ච නිල් පාට සාරියක් ඇදගෙන උන්නු පොස්ටරේ එයාගෙ පොත් මේසෙ උඩින් ඇන හතරක් ගහල එල්ලුව. ඊට උඩින් බුද්ධ පින්තූරය තිබුණ..පුංචි නිමල්ට හරි සතුටුයි. ඒ විතරක් නෙවෙයි නිමල්ලෑ ගම තියෙන නගරෙට ඒ මැතිණිය දවසක් දා ආවා....එයා එදා අඩල අඩල තාත්තත් එක්ක චන්ද්‍රිකාව බලන්න ගියා. සෙනග ගොඩාරියක් පිරිල ඉතිරිලා හිටිය. නිමල් හිටියෙ තාත්තගෙ කර උඩ නැගල.

“ කෝ තාත්තෙ චන්ද්‍රිකා කතා කරන්නෙ නෑනෙ....“ පුංචි නිමල්ට චන්ද්‍රිිකාගෙ කට හඩ අහනකන් ඉස්පාසුවක් තිබුණෙ නෑ..

“ ඇයි පුතේ ඔය කතාකරන්නෙ චන්ද්‍රිකා තමා......“  තාත්ත එහෙම කියනකොට,

“ අනේ තාත්තෙ පිරිමි කෙනෙක් කතා කරනව වගේනෙ  එයා කතා කරන්නෙ...“ නිමල් හිනා වෙලා කිව්ව.

“ ඔව් ඒ තමා චන්ද්‍රිකාගෙ පෞරුෂත්වෙ....“ එදා ඉදන් පුංචි නිමල් චන්ද්‍රිකාගෙ කටහඩට ගොඩාක් ඇලුම් කළා. හැබැයි නිමල් ගොඩාක්ම කැමති වුණේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කතාකරනව අහන් ඉන්ට..දවසක් නිමල් තාත්තත් එක්ක ගියා තිත්තකොබ්බෑව කියන ගම උදා ගම්මානයක් කරල ඒක විවෘත කරන දවසේ තිබිච්ච උස්සවේට. එදා ආවෙ ප්‍රේමදාස ජනාධිපති තුමා...එයා කතාකරපු විදියට නිමල්ගෙ හිත ජනාධිපතිතුමාට ඇදිල ගියා.

දවසක් දා පුංචි නිමල් ඉස්කෝලෙ පිට්ටනියට ගියා යාළුවොත් එක්ක මණ්ඩි බෝල් ගහන්න..ඒ දවස්වල ලොකු අයියලා එල්ලෙ ගහනකොට නිමල්ලෑ සෙට් එක මණ්ඩි බෝල ගැහැව්ව. ඉතින් එහෙම යනකොට එකපාරම ලොකු පෙජරෝ එකක් ඇවිල්ල නතර කරා... නිමල් බය වුන්නෑ..මොකද එ් දවස්වල එක එක වර්ගයේ කාර් ගමේ තියෙන හැම අස්සක් මුල්ලකම යන හිංදා...ඒ දවස්වලට තමා නිමල්ල කාර් එකක් වත් දෑහින් බලා කියා ගන්නෙ.  නිමල් ඉස්කෝලෙ යනකොට යන්නෙ කාර් ගිහිල්ල හැදිච්ච වලවල් උඩින් පැන පැන. ඉස්කෝලෙ යනකොටනම් සුදු පාටින් ඇදුම් තිබ්බත් ගෙදර එනකොට කමිසෙ බොර පාටයි.  නිමල්ට අම්මගෙන් බැනුම් කෝටියයි....

ආපු පෙජරෝ එක එක පාරටම නිමල්ලෑ ලගින් නතර කරා....

“එන්න පුතේ......“ ඇස් දෙක පේන්නෙ නැති වෙන්ට කණ්නාඩි කුට්ටමක් දාගත්තු නැන්ද කෙනෙක් තොල්පෙති රතුම රතුපාටින් දිලිසෙනව....අපි දිහාට අත්දෙක දික්කරගෙන...රටින් ගෙනාපු ටොපි චොකලට් පිරීල තියෙනව දැක්ක... නිමලුයි යාලුවො කට්ටියයි නැන්ද ලගට දුව..ගෙන ගියා. ඒ නැන්ද කිසිම තණ්හාවක් නැතුව ටොපි ටික ඔක්කොම දුන්න...නිමල්ටයි යාලුවොන්ටයි ගොඩාරියක් සතුටුයි.... එයාලා ටොපි ටික අරගෙන කාර් එක ගාවින් ටික ටික පස්සට වුණා...අර නැන්ද හරී සතුටින් පුංචි උන් ටික දිහා බලාන ඉදල  අන්තිම මොහොතෙ තටා...කිව්ව...ළමයි ඔක්කොම උඩ පැන පැන අර ඇන්ටිට තටා කිව්ව...නිමල් පෙජරෝ එක යන දිහා සතුටින් බලා හිටිය. එතකොට තමා එයා දැක්කෙ කාර් එකේ බදේ පෝස්ටරයක් ගහල තිබුණ...කොල පාට පසුබිමේ  රාණි අධිකාරි  කියල ලියල අලියෙක්ගෙ පින්තූරයක් ඇදල ඒ ඉස්සරහින් අංක එකොළහ ලියල තිබුණ.  නිමල්ගෙ හදවතේ පතුළටම ඒ නම කිදා බැස්ස. එහෙත්  ඇය කොහේ කෙනෙක්දැයි  නිමල් දැන නොසිටියේය.

නිමල් ගෙදර ගිහින් අම්මට පෙරැත්ත කරා රාණි අධිකාරිට ඡන්දෙ දෙන්න කියල. අම්මට හරි පුදුමයි. අම්ම තමන්ගෙ පුංචි පුතාව ආදරෙන් වැළද ගත්ත.

“ බලමුකො බලමුකො....“ අම්ම එහෙම කිව්ව...


 ඒ අගෝස්තු මාසෙ වෙන්න ඇති. චන්දරේ මාමලාගෙ ගෙදරට නිමල්ලෑ ගෙදර ඔක්කොම  එකතු වුණා...නිමල්ලෑ කොටුවෙ හදල තිබුණූ රට කජු උර පිටින් ගලවං ආව. අම්ම ඒව තැම්බුව...චන්දරේ මාමගෙ  නැන්ද ට කේතලේ  බිමින් තියන්න වුණේම නෑ...අවට වට පිටාවෙ නැන්දලා මාමල විස්සක් තිහක් චන්දරේ මාමලගෙ ගෙදර...ගැහැණු ගොල්ලයි පුංචි නිමලුයි එයාගෙ යාලුවො කීප දෙනෙකුයි  බිම ඉදගෙන....එදා ජාතික රූපවාහිනිය දාල තිබුණෙ...චිත්‍ර පටියක් ගියා. ඒත් ඒක හිංදි එකද්ද එහෙමත් නැත්තන් සිංහල එකද්ද කියල නිමල්ට හරියටම නිච්චි නෑ.....

නිමල්ලෑ තාත්තයි තවත් කොල පාට අත් දිග  කමිසයක් ඇදගෙන උන්නු මාම කෙනෙකුයි විවාද තරගයක වගේ.... එහෙම වෙන්නෑ , එහෙම වෙන්නෙ කොහොමද, ගිය පාර කීයද, රැස්වීම් වල පිරිල හිටිය...අර සංවිධානෙන් මෙහෙම කිව්ව, සමීක්ෂණයෙන් ඔප්පු වුණා...ආදී  නොයෙක් දෑ මාතෘකා කරගෙන බරපතල කතාබහක. ගැහැණු  ඇස් පිල්ලන් ගහන්නැතුව ටීවි එක දිහා බලාගෙන. ජයා මාම රතිඤ්ඤ පෙටිටි ටිකකුත් තියාගෙන සුරුට්ටුවක් උර උර ඉන්නව.....පිරිමි උදවිය එකා දෙන්න එළියට ගිහිං ටික වේලාවකින් මූණ ඇඹුල් කරගෙන වම් අතින් කට පිහ දදා  ආයෙම ගෙට ඇතුළු වෙයි. ටිකෙන් ටික රූපවාහිණියේ සද්දයත් යටකරගෙන  නිමල්ලෑ තාත්තාගෙ සහ තවත් පිරිමි  කීප දෙනෙකුගේ කටහඩ ඉස්මතු විය.

" පලමු ඡන්ද ප්‍රතිඵලය තව ස්වල්ප වේලාවකින් බලාපොරොත්තු වෙන්න.." නිවේදක තුමා කියනවාත්  එක්ක තැන් තැන්වල ඉදගෙන කතා කර කර උන් ගැහැණු පිරිමි සාලයට රොක් වුණා.

" රතිඤ්ඤ ලෑස්ති කරපල්ල.." ඒ තවත් පිරිමියෙකුගේ  කටහඩකි.

" මෙන්න පළමු ඡන්ද ප්‍රතිඵලය......" සියල්ලෝගෙම දෙනෙත්  රූපවාහිනී තිරය මතය. ඇල්පෙනෙත්තක හඩ නිදා සිටින වුවෙකුට පවා ඇසෙන මොහොතකි.

" පොදුජන එක්සත් පෙරමුණ ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව....."  ප්‍රමාණය කිව්වද එය කිසිවෙකුටත් නෑසුණි. රතිඤ්ඤා හඩ දසතින් ඇසෙන්නට විය. ගැහැණු පිරිමි සතුටින් කෑ ගාන්නට විය. ගැහැණු  ගැහැණු වැළද ගත්හ. පිරිමි එකිනෙකාට අතට අත දෙන්නට විය.කොළ පාට කමිසයක් ඇද සිටි පුද්ගලයා දුක් වුවද තව එහෙම්ම යැයි කියනවා ඇසුණි. නිමල්ට හුගක් සතුටුය. චන්ද්‍රිකා දිනලාය.....පක්ෂයක් පාටක් නොදන්නා නිමල්  කුමට සතුටින් සිටින්නේද ? එය දන්නේද නිමල්ම පමණෙකි.

චන්ද්‍රිකා දිණුවාය...ලංකාවේ දෙවන අගමැතිවරිය වූවාය.

" ඔයාට අනිවාර්යෙන් ජොබ් එකක් සුවර්....දිසානායක මහත්තයා කිව්වෙ, ගමට දෙන පළවෙනි ජොබ් එකම දෙන්නෙ ඔයාට කියල..." දිනක් තාත්තා අම්මා එක්ක කියනවා  නිමල් අහගෙනය..

" ඉස්සරෝම සමෘද්ධියට පත්වීම් දෙනව කිව්වෙ....සමහරවිට මේ මාසෙම ඔයාට පත්වීම හම්බ වෙයි.." තාත්තා එහෙම කියද්දී අම්මාගෙ මුහුණෙ නැගුණු සතුට නිමල් කිසි දිනෙක ඇය තුලින් දැක තිබුණේ නැත.වෙනදට වැඩිය එයාගෙ වෙනසක් දැක්ක. ගමන් කරන හැටි උණත් වෙනස්. හරියට නර්ස් නෝන කෙනෙක් වගේ එහෙ මෙහෙ ඇවිද්දෙ වැඩ රාශියක් තියෙන කෙනෙක් වගේ.  ඒ දවස් කීපයේම ගමේ හුගක් ගැහැණු පිරිමි නිමල්ලාගෙ ගෙදර ආව. නිමල්ලාගෙ අම්ම ඒ ගොල්ලන්ට තේ හදල දුන්නෙ ගොඩාක් සතුටින්. නිමල්ටත් කම්මැලිකමක් දැනුණෙ නැ. ඒ ගොල්ලත් එක්ක නිමල්ගෙ යාලුවොත් ආපු නිසා නිමල්ට යාලුවොත් එක්ක හුගක් වෙලා සෙල්ලම් කරන්න පුලුවන් වුණා.

"ජනාධිපතිවරණෙට කලින්  පත්වීම් දෙනවලු...ඊට කලින් දිසානායක මහත්තයාලගෙ ගෙදර එන්න කියල තියෙනවා..ඔක්කෝටම දවල්ට කෑම වේලක් දෙන්න.."

"කවද්ද....? "

" එන ඉරිද.... ජයසිංහ මුදලාලිගෙ වෑන් එකවත් අරන් යං..."

ඒ දවස් ටිකේම අම්මා කොරටුවට නොගියාය. සමහර විට ඉතිරිවිච්ච රටකජු ටික හොරුවත් ගලවලා ඇද්ද...? මේ  අමු මිරිස් කැඩෙන කාලෙ මොණරු ඇවිත් ඒව කාල නාස්ති කරයිද දන්නෙ නෑ....වෙනදා එහෙම හිතල ඉක්මණටම කොරටුවට පයින්ම ඇවිද යන නිමල්ලාගෙ අම්මාට අද කොරටුව ගානක්වත් නැත. කොරටුවක් නොතිබුණා සේය.

" මට හම්බෙච්ච ගුරුපත්වීම තමා  අර උඩහ ගෙදර සීතට දුන්නෙ... උන්ගෙ ආණ්ඩුවනේ....අපි එච්එස්සී පාස් වෙලත් රජයෙ පත්වීමක් ගන්ඩ බැරි වුණා....ඔන්න දැන් අපේ වාරෙ...." නිමල්ගෙ අම්ම උදම් ඇනුව.

"ඒ අතින් හුරුල්ලෙ මහත්තයා දෙවි කෙනෙක්..ඒ මිනිස්සුන්ගෙ ඔය කුහක කම් තිබුණෙ නැ...ඒ මිනිස්සු මොන පක්සෙ උණත් සුදුස්සන්ට සුදුසු තැන දුන්න...ඒකටත් එක්ක මුං මට දුන්න පත්වීමනෙ මට දුන්නෙ නැතුව එස්එස්සී වත් පාස් නැති අරකිට දුන්නෙ.."විටෙක ඇය කෝප වූවාය. එවිට පුංචි නිමල් මිදුලෙ ඉදන් දුවගෙන ඇවිත් දොරඋළුස්සට හේත්තු වී ඉද කෝප වූ තම මෑණියන් දෙස මොහොතක් බලා ඉද ආපසු හැරී යයි.

ඉරිදා දිනය උදාවිය. නිමල්ලෑ අම්මා පාන්දරම අවදි වූවාය. ජොග්ගුවට තේ හදාගෙන අවුත්  සියලු දෙනටම  පිළිගැන්වූවාය.

" කෝප්පත් පතුරු ගිහින් ..කොහෙද ඉතින් නිමල්ට එහෙම අහුවුණොත් හත් අට පොලක වද්දනවනෙ.."

" මේ පාර මිරිස් මුරේ කැඩුනම කෝප්ප දෙක තුනක් ගමු..." නිමල්ලෑ තාත්ත එහෙම කිව්වෙ වතුර කෝප්පයක් අරන් කට හෝදන ගමන්ය.

" පුතේ.....ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල අත්තම්මලාගෙ ගෙදරින් කාපල්ල...තාත්තයි මායි පොඩි ගමනක් යනව.."
" මං එහෙම්ම කලු මහත්තලෑ දිහා යනවා..." මූන හෝදන ගමන් සිරිමල් කීවේය. සිරිමල් නිමල්ගේ වැඩිමල් සහෝදරයාය.

" පොඩි පුතේ උඹ අත්තම්මලාගෙ ගෙදර හිටිං අම්ම එනකං... අම්මයි තාත්තයි ඉක්මණට එන්ඩ බලන්නං.."

නිමල් ඔලුව වැනුවා පමණි.
.

නිමල්ගේ පියා , මව හා  තවත් ගමේ හිතමිතුරන් කිහිප දෙනෙක් දිසානායක මංත්‍රී තුමාගේ ගෙදරට  ගියේ  ජයසිංහ මුදලාලිගෙ වෑන් රථයෙනි. ගිනි පොලියට මුදල් දෙන ජයසිංහ මුදලාලි හයර් එක කීයක් ඉල්ලාවිදැයි නිමල්ගේ තාත්තා වෑන් එකෙන් මංත්‍රී තුමාගේ ගෙදරට පය තබන ගමන් සිතුවේය. මංත්‍රීතුමා දොරකඩට වී උන්නා. ගේ වටේටම සෙනග පිරිලාය. නිමල්ගෙ තාත්ත දිසානායක මහත්තයා ඉන්න තැනට ගියා. අම්මාද ඔහුව අනුකරණය කළාය.

" ආයුබෝවන් පියරත්න මහත්මයා..."

" එසේම වේවා මන්ත්‍රී තුමා...පාක්ෂිකයො හුග දෙනෙක් ඇවිල්ල නෙවැ..."

" ඔව් ඔව් ..පියරත්න මහත්තයා වගේ හුගක් උදව් කරපු උදවිය...."

" මන්ත්‍රීතුමා මෙයාගෙ ජොබ් එක හරි යයි නේද ?" නිමල්ගෙ තාත්ත වටපිට බලල බයාදු ගතියකින් ඇහුව..

" පියරත්න ඔයා කිසිදේකට බය වෙන්ඩ එපා... දැනටමත් සිරියලතාගෙ නම රෙකමන්ඩ් කරල යවලයි තියෙන්නෙ...." ඕන නම් තව සති දෙකක් යයි.....ඔන්න බලන්ඩ මං බොරුද කියන්නෙ කියල....අවුරුදු දා හතක් ඉදල බලයට ආවේ....අවුරුදු දා හතක්...." මන්ත්‍රී තුමා පුනරුච්චාරණය කළේය.

" එහෙනම් පියරත්න මහත්තයා...කාල බීල සතුටු වෙලා යන්න....දන්නවනෙ ඉතිං අද මම ටිකක් කාර්යබහුලයි කියල....."
" හොදමයි මන්ත්‍රීතුමා..."  නිමල්ගෙ තාත්ත දෙකට නැමී ආචාර කළේය..මන්ත්‍රී තුමා නිමල්ගේ අම්මාට හිස නමා ආචාර කොට පිටත්ව ගියේය.

මන්ත්‍රී තුමාගේ නිවසට ගොස් පැමිණ සතියක් ඉක්ම ගොස් අහවරය. නිමල්ගේ මවත් පියාත් ශාඛා සභාපතිතුමාගෙන් පණිවිඩයක් ලැබෙනතුරු මගබලා සිටී. ඒ අතර වාරයේ ජනාධිපතිවරණයටද කැන්වසින් යාමට නිමල්ගේ පියාටත් මවටත් සිදුවිය. දිවා රෑ වෙහෙස නොබලා ඔවුන් ගෙයක් ගෙයක් ගානේ ගොස් චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගැමියන්ගේ ඡන්දය යැද්දේය. ගෙදරින් උදෑසනම පිටත් වන ඔවුන් ගෙදරට එනවිට අදුරත් වැටිලාය.

" පොඩි පුතේ උඹ මොනවද අද දවල්ට කෑවෙ......"

" මොනවත් කෑවෙ නෑ අම්මෙ....බඩගිනී හොදටම..." නිමල් බඩවත මිරිකා ගත්තේය.

" ඇහ්....ඇයි ආත්තම්ම උයල තිබුන්නැද්ද....පුතේ.."

" ආත්තම්මට අමාරුයි කියල ඕන් දවසම ඇදට වෙලා...."

" හ්ම් ඒකත් එහෙමද..... ඉදින්  මං ඉක්මණට මොනව හරි තම්බලා දෙන්නම් ....." නිමල්ගේ අම්මා දඩි බිඩි ගා උයන්නට වූවාය.


" පුතේ......බලපං  කවුද ආවෙ කියල....." අම්මා කුස්සියේ සිට බෙරිහං දුන්නේය.

" විසිපහේ ගෙදර රණසිංහ මාම අම්මෙ....තාත්තෙ මේ රණසිංහ මාම ඇවිල්ල....."

" ආ..රණේ...වරෙන් වරෙන්.... මොකද හදිස්සියක් එහෙම නෙමෙයිනෙ...? "

" නෑ......එහෙමත්ම කියල හදිස්සියක් නෑ.....ඒත් දිසානායක මහත්තයාගෙ පණිවිඩේකට ආවෙ....."

" ඇයි..? ඇයි ..? මොකද...පත්වීම් ඇවිල්ලද..? අම්මා කුස්සියේ ඉදන් සාලෙට ආවාය. ඇගේ පිටි අල්ලේ තිබූ  වතුර අත් දෙක නුහුරට හරවා හැද සිටි චීත්තයෙන් පිස දා ගත්තාය.

" පත්වීම් ඇවිල්ල...!, " සිරියාවතීගේ මුහුණ සතුටෙන් පිරෙන්නට විය....

"පත්වීම් නම් ඇවිල්ල......ඒත් පොඩි පරහක් තියෙනවා....පියරත්න.." රණසිංහ තෙපරබාන්නට විය...

සිරියාවතීත් පියරත්නත් ඇස්ගෙඩි ලොකු කරගෙන රණසිංහ දිහා බලා උන්නාය. නිමල් පැත්තකට වී අම්මාගේ  අසරණ මුව දෙස බලා උන්නාය.

" ඔව් පියරත්න....සුමනසේකරටයි බන්දුසේනටයි විතරයි පත්වීම් ඇවිල්ල තියෙන්නෙ....අවුරුදු තිස්පහට වැඩි කාටවත් සමෘද්ධි නියාමක පත්වීම් දීල නෑ....සිරියාවතීට වයස අවුරුද්දක් වැඩියිලු....දිසානායක මහත්තයාටත්  දැනුම් දීල තියෙන්නෙ ඊයෙ.මන්ත්‍රීතුමත් සෑහෙන්න දුක් වුණා...."  රණසිංහගේ වදන් තුලින් ගිනි පුළිගු එන්නාක් මෙන් සිරියාවතීට දැනුණි. ඇය සිය දෑත්වලින් හිස දෙපැත්ත අල්ලා බදා ගත්තාය. වසර දාහතක් බලා  සිටියේ මේ වචන ටික අහන්නදැයි ඇයට සිතුණි. පක්ෂය දිනවන්ට මෙච්චර කැපකිරීමක් කල සිරියාවතීට වුණූ දෙය ගම්මු දැන ගැනීමෙන් ඇයට ඇතිවන අපහාසය කුමන මට්ටමේ එකක් වේවිදැයි ආදී නොයෙක් සිතුවිලි වලින් ඇගේ චිත්ත සන්තානය පිරී ඉතිරී යන්නට වූවාය. ඇය " අම්මේ....." කියාගෙන ඇතුළු කාමරයට දිව ගියාය. පුංචි නිමල්ද  ඇය පස්සේ දිව ගියේය.

" පියරත්ත, මන්ත්‍රීතුමා කිව්ව...සිරියාවතීට කනගාටු වෙන්ට එපාය කියල කියන්ට කියල....ජනාධිපතිවරණයට බය නැතුව වැඩ කරන්ට කියල....ජොබ් එකක් අනිවාර්යයෙන් අරන් දෙනව කියල කියන්න කිව්ව...මේ ගමට රස්සා දෙනවනම් දෙන්නෙ සිරියාවතීට දුන්නට පස්සෙ කියලයි මන්ත්‍රීතුමා කිව්වෙ.."

" එහෙනම් පියරත්න මං ගිහින් එන්නම්......" පියරත්න ඔලුව වැනුවේය.

නොවැම්බර් මාසය උදාවිය.

" අම්මේ......පොඩි එකා පොඩ්ඩක් බලාගන්ඩකො......ටිකක් හවස් වෙයි එනකොට...පුතේ....අම්ම එනකං ආත්තම්මත් එක්ක ඉන්ඩ ඕනෙ...දග කරන්නෙ එහෙම නෑ ඕං......" එහෙම කියපු නිමල්ලෑ අම්මා ගමේ පන්සලට  ගියාය.... ඒ තම පක්ෂය වෙනුවෙන් පෝලිම්බූත් රාජකාරිය ඉටු කිරීම පිණිසය...