Monday, August 15, 2016

මෙතැනින් නොනැගිටිමි මා නුඹ දකින තුරූ





දහවල රැව්ව ටකරං වහලෙන්
බේරේ
දහඩිය කන්ද ගං ඇල දොළ මෙන්
බේරේ
වළදින බත් පිඩත් ගිණියම් ලෙස
තේරේ
ලෝදිය ගින්න උගුරෙන් පහළට
බේරේ


එළියට බහිනු කෙලෙසක ගිනි
ගින්දරය
ඇතුළත හමා එන ඩහදිය
කරදරය
දෙමලිති මලිති පැණි කුරුලන්ගෙන්
තොරය
හැම අත කපා හෙළූ තුරු  සහ
අන්දරය


පෙර කල මිනිස් හදවත් වන්දනය
කෙරූ
හුස්ම පොදට පිරිසිදු වා තලය
පෙරූ
සිහිලස ලොවට නිරතුරුවම ජනිත
කෙරූ
මෙතැනින් නොනැගිටිමි මා නුඹ දකින
තුරූ


බුදු පා රැදුනු දා සත් සියොතුන්
එක්ක
දොඩමළු වුණිලු  නැත සැකයක් නුඹ
එක්ක
මිනිසෙක් කපන විට කොටයක් මා
වික්ක
දුටුවෙමි ගලන කදුළැලි රුධිරය
එක්ක


වැස්සෙන් නොතෙම්වා  අව්වෙන්
බේරන්න
සිදුවිය මුළු දිවිය වහලෙට දන්
දෙන්න
සැපයෙන් පහසුවෙන් ජීවිත
ගෙනියන්න
ඇගෙ කය තීරු විය සීලිම
ඉදිවෙන්න


පස් වී පොහොර උපදින  කය
රැකගන්න
මිනිසුන් පෙළෙඹිලා තුරුලිය
වනසන්න
පෑගෙන බිමත් ලීයෙන් නිති
සරසන්න
මිනිසුනි කුහක ඇයි තුරු රුධිරය
බොන්න


ණයටය ගත්තෙ මේ සැප සම්පත්
රොත්ත
නූපන් එකාටය මේ ලෝ එය
ඇත්ත
කැපුවොත් ගහක් අරගෙන මිනිසුනි
කැත්ත
හදපන් පුංචි පැළයක් පොලියත්
එක්ක






































13 comments:

  1. මමත් ගස් කපනවට බොහෝම විරුද්ධයි..

    මේ කවි පන්තිය අති විශිෂ්ඨයි මචෝ....

    ReplyDelete
  2. අදහස, ව්‍යායාමය, සහ කවි පන්තිය යන තුනම ඉස්තරම්

    ReplyDelete
  3. ගහක් කොළක්, සතෙක් නැතුව ජීවත් වෙන්න වෙච්ච දවසට තේරෙයි. එතකොට පරක්කු වැඩියි.

    නියම කවි පෙල සහ චිත්තරේ.

    ReplyDelete
  4. //කැපුවොත් ගහක් අරගෙන මිනිසුනි කැත්ත
    හදපන් පුංචි පැළයක් පොලියත් එක්ක//

    හිටෙව්වට මදි රැකබලාගන්නත් ඕන.හොඳ පනිවිඩයක් දෙන නිර්මාණයක්.

    ReplyDelete
  5. අව්වේ සැර කිරණ පෙරමින් නිහඩවම
    මව් වරු ලෙසේ රැකගෙන අප ජීවයම
    දෙව් ලෝ දෙවි වගේ ඇති තුරුලිය ගැනම
    වැව් ඉස්මත්තෙ ලිව්වට තුති පුදමි මම........

    ජයවේවා!!!

    ReplyDelete
  6. හෙහ් හෙහ් හෙහ්, ඔය තියෙන්නේ ටොපේ ටොප් එකට හිටින්න කවිටික ටයිප් කරලා.

    හැබැයි ඔය එළිසමය තැබීමේදී, ටිකක් සැලකිල්ලට ගතයුතු කරුණු තියනවා. දෙවැනි කවියේ පළමුවැනි පේලියේ අන්තිම වචනය සහ, හතරවැනි පේලියේ අන්තිම වචනය ගින්දරය, අන්දරය, කියන තැන එළිසමය හරි. නමුත්, දෙවැනි තුන්වැනි පේළිවල වැරදියි. ඒවත් 'න්දරය' කියන ආකාරයට අවසන් වෙන්න ඕනේ.

    කොහොම වුනත් කවිපන්තිය රසවින්දා. බොහොම හොඳයි.

    ReplyDelete
  7. දහවල රැව්ව ටකරං වහලෙන්බේරේ , අව්ව කියන එකද

    ReplyDelete
  8. //ණයටය ගත්තෙ මේ සැප සම්පත්
    රොත්ත
    නූපන් එකාටය මේ ලෝ එය
    ඇත්ත
    කැපුවොත් ගහක් අරගෙන මිනිසුනි
    කැත්ත
    හදපන් පුංචි පැළයක් පොලියත්
    එක්ක// වැදගත් පණිවිඩයක්!!! ගස් කැපුවට කමක් නෑ.. අළුතින් ගස් වවපල්ලා... ජයවේවා !!!

    ReplyDelete
  9. හොඳ කවි පන්තියක් , කාලීන මාතෘකාවක් වෙනුවෙන් ලියැවීම නිසා අගෙයි.

    ReplyDelete